Saturday 20 April 2013

කතෝලික පියතුමකු වන්නේ කොහොමද?

අද කතා කරන්න යන්නේ කොහොමද කතෝලික සභාවේ පියතුමකු වෙන්නේ සහ ඒ සඳහා සූදානම් වන ආකාරය ගැනයි.

මේ ලිපිය ලියන්න අරගෙන මාසෙකටත් වැඩියි. පාප් වහන්සේ ගැන කළින් පළ කරපු ලිපිය ලියන්න වුන හින්දා මේ ලිපියට පොඩි විවේකයක් දෙන්න වුණා. ඊට පස්සේ විභාග වගේම එක එක වැඩ හින්දා තවත් පරක්කු වුණා. කොහොම හරි දැන් මේක පළ කරන්න සුදුසුම විදිහට පරිසරය සැකසිලා තියෙනවා. ඒ තමා අප්‍රේල් 20 වන සෙනසුරාදා උදෑසන 9 ට කොළඹ කොටහේනේ සාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ පැවැත්වෙන පූජාත්වර දානයේ දේව මෙහෙය. එදින කතෝලික සභාවට නවක පියවරු 12 දෙනෙක් එක්වෙනවා. ඒ සියළුම දෙනාට සුභ පැතුම් සමඟයි මේ ලිපිය.


මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වන්නේ පදවි පූජකයකු වෙන ආකාරයයි, විශේෂයෙන්ම කොළඹ අගරදගුරු පදවිය කේන්ද්‍ර කරගෙනයි. ශ්‍රී ලංකාව තුළ රදගුරු පදවි 12 ක් පවතිනවා. මේ සෑම පදවියකටම අයත් ඒ ඒ පදවියේ වැඩ කටයුතු කරන පූජකවරු සිටිනවා.

ශ්‍රී ලංකාවේ රදගුරු පදවි


මුලින්ම කියන්න ඕනා, බොහෝ විට කතෝලික පියතුමකු වීමට ආශාව ඇතිවන්නේ දිව්‍ය පූජාවට උදව් වීමෙනුයි. මොකද, මේ පූජා සහයක දරුවන් සෑම විටම දිව්‍ය පූජාවට සහභාගි වෙමින්, ඒ මෙහෙයට හවුල් වන නිසා.

මෙම ආශාව ඇතිවීමෙන් පසු, ඇත්තටම තමාට කතෝලික පියතුමකු වීමට අවශ්‍යයම දැයි දෙමව්පියන් ගේ සහ මීසම් සේවක පියතුමා ගේ උදව් ඇතිව දැන ගත යුතුයි. මේ සඳහා හොඳ යාච්ඤාශීලි ජීවිතයක් ද ගත කළ යුතු වෙනවා.

මෙසේ ඔබ, ඔබේ ස්ව කැමැත්තෙන් තීරණය කිරීමෙන් පසු, ඔබ වයස අවුරුදු 14 හෝ ඊට වැඩිනම් මීසම් සේව්ක පියතුමා සමඟ කතා කර ඔහුගේ මාර්ගයෙන් පුංචි දෙව්සත්හලට ඇතුලත් වීමට අයදුම් පත්‍රය යොමු කරන්න පුළුවන්.

අයදුම් පත යොමු කිරීමෙන් දින කිහිපයකින් පසු ඔබට සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයක් ලැබෙන අතර මෙම සම්මුඛ් පරීක්ෂණය අදියර කිහිපයකින් සමන්විත වෙනවා.

  • පදවියේ රදගුරුතුමාව හමුවීම
  • කුඩා දෙව්සත්හලේ අදියුරුපියතුමාව හමුවීම
  • ලිඛිත පරීක්ෂණය
  • වෛද්‍ය පරීක්ෂණය


ඔබ මෙම සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූයේ නම් ඔබට කුඩා දෙව්සත්හලට ඇතුලත් වීමට අවස්ථාව ලැබෙනවා.

කුඩා දෙව්සත්හල (Minor Seminary)

බොරැල්ලේ ඇති කොළඹ පදවියේ කුඩා දෙව්සත්හල


ඔබට ලබාදෙන දිනයක, අවශ්‍ය බඩු බාහිරාදිය ද රැගෙන ඔබේ දෙමව්පියන් සමඟ කුඩා දෙව්සත්හලට පැමිණීමට සිදුවෙනවා. මෙතැන් පටන් ඔබේ නිවස වගේම පාසල බවට පත්වන්නේ මෙම කුඩා දෙව්සත්හලයි.

මම, මෙහි පාසල බවට ද පත්වෙනවා කිව්වේ, මෙම කුඩා දෙව්සත්හල තුළ 9 වසරේ සිට උසස් පෙළ දක්වා ඉගෙනීමට කටයුතු සළසා ඇති බැවිනි. මෙසේ අ.පො.ස. සා/පෙළ සහ අ.පො.ස. උ/පෙළ සඳහා ඉගෙන ගන්නා අතර, කතෝලික දහම පිළිබඳව මූලික ඉගැන්වීම් ද, ඉංග්‍රීසි භාෂාව සහ දෙමළ භාෂාව ද ඉගැන්වෙනවා. (දේව කැදවීම් අඩු  රදගුරු පදවි වල දෙව්සත්හල තුළම පාසල නොමැති අතර, එම පදවි දෙව්සත්හල් දරුවන් අසල පාසල් වලට ගොස් අධ්‍යාපනය ලබනවා.)

මෙම කුඩා දෙව්සත්හල තුළ ආගමීක (අධ්‍යාත්මික) සහ අධ්‍යාපනික දැනුමට අමතරව විශය බාහිර ක්‍රියාකාරකම් ද, ක්‍රීඩා කටයුතු සඳහා ද අවස්ථාව ලැබෙනවා. මෙසේ ගායනය, වාදනය ඉගෙන ගැනීමට ද, තමාගේ හැකියාව පෙන්වීමට ගායන, වාදන, කථික, රචනා තරඟ ද, තමාගේ ක්‍රීඩා කුසලතා සඳහා වාර්ශීක ක්‍රීඩා උත්සවයද ඔබට ලැබෙන අවස්ථාවන් වෙනවා.

නාට්‍යයක අවස්ථාවක්


අතරමැදි/ ප්‍රාරම්භක දෙව්සත්හල (Intermediate/ Propaedeutic Seminary)



කුඩා දෙව්සත්හලේ දී උ/පෙළ සමත්වන ඔබට, කතෝලික පූජකයකු වීමට ඉදිරියට යාමට තවත් විභාගයකට මුහුණදෙන්න සිදුවෙනවා. මෙය ඉංග්‍රීසි භාෂාව පිළිබඳව වාචිකව සහ ලිඛිතව පැවැත්වෙන ජාතික දෙව්සත්හලට ඇතුලත්වීමේ විභාගයයි (National Seminary Entrance Examination/ NSE Exam). මෙම විභාගයෙන් සමත්වන අයට කලුතර පිහිටි අතරමැදි/ ප්‍රාරම්භක දෙව්සත්හල ට ඇතුලත් වීමට අවස්ථාව ලැබෙනවා. අනෙක් රදගුරු පදවි වලින් ද පැමිණෙන මෙම දෙව්සත්හලේ ප්‍රධාන තේමාව වන්නේ යාච්ඤාව සහ වැඩ කිරීමයි (Pray and Work). කලු ගඟ අසල දර්ශනීය ස්ථානයක පිහිටි මෙම දෙව්සත්හලේ යාච්ඤාවට යෝග්‍ය පරිසරයක් තිබෙනවා. දෙව්සත්හල සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සෑම කෙනෙකුගේම වගකීමක් වෙනවා.

කලුතර දෙව්සත්හලේ තිබෙන  අංගයන් අතර ප්‍රධාන වගේම සිත්ගන්නා අංගයක් වන්නේ කඳවුරු යෑමයි. සතියක පමණ කාලයක් මෙම කඳවුරු භූමියේ සිටින්න වෙනවා. කඳවුරට යන ගමනේ පටන් නැවත එනතුරු සියළු දෙයම පරීක්ෂණයට භාජනය වෙන අතර ඒ සැම අංගයකින්ම තම කණ්ඩායමට ලකුණු රැස් කරගන්න පුළුවන්. බොහෝ විට මේ සෑම අංගයක්ම කණ්ඩායමටම පොදු වෙනවා. මේවා අතර කිලෝමීටර 15ක් 20ක් පමණ කඳවුරු භූමියට පැමිණීම, කූඩාරම් සෑදීම, කෑම ඉවීම, නොයෙක් ක්‍රීඩා අංග ප්‍රධාන තැනක් ගන්නවා.


කඳවුරු බිමේ


වසරක පමණ කාලයක් කලුතර ගත කරන්නට සිදුවන අතර, ඉන්පසු පූජක පුහුණු දිවියේ අවසාන අදියර කිහිපය සඳහා නුවර, අම්පිටිය ලංකා අප ස්වාමි දූ ජාතික දෙව්සත්හල කරා යන්නට සිදුවනවා.

ජාතික දෙව්සත්හල (National Seminary)

දර්ශන පීඨය
දේවධර්ම පීඨය


අම්පිටියේ මුල් වසර දෙක ගෙවෙන්නේ දර්ශන විද්‍යාව ඉගෙන ගැනීමට සඳහායි. (දැන් මෙය වසර 3ක් දක්වා දීර්ඝ කර ඇත.) ඉන්පසුව දෙව්සත්හල් ජීවිතයේ අවසාන වසර හතර ගෙවෙන්නේ දේව ධර්මය හැදෑරීමටයි.

දේවධර්ම පීඨයේ දේවස්ථානය ඇතුලත


මෙම දෙව්සත්හලේ ද විශය බාහිර ක්‍රියාකාරකම් සඳහා තැනක් ලබා දෙනවා. ඒ අතර වාර්ශීක ක්‍රීඩා උත්සවය, සංස්කෘතික උළෙල සහ ඊට සමගාමි තරඟ, නාට්‍ය තරඟ ප්‍රධාන තැනක් ගන්නවා.

දෙව්සත්හල් ජීවිතයේ අවසාන වසර හතර ආරම්භයේ දී, එනම් දේව ධර්මය පළමු වසරේ දී සියළුම සහෝදරතුමන්ලාට දෙව්සත්හලේ පවත්වන විශේෂ දේව මෙහෙයක දී නිල වශයෙන් ලෝගුව පැළඳීමට අවසර ලැබෙනවා. එසේම මෙම දේව ධර්මය හදාරන සහෝදරතුමන්ලා නත්තලට සහ පාස්කුවට විවිධ මීසම් වල පියතුමන්ලා ගේ සහයට යන අතර අම්පිටියේ සිටින කොළඹ පදවියේ සහෝදරවරුන් අගෝස්තු නිවාඩුවේදී පදවිය සතු වත්තක වැඩවලට සහය වීමට ද යනවා.

වතු වැඩ (වැටකට කනු සිටුවන්න යමින්)


අධ්‍යාත්මික, අධ්‍යාපනික, සමාජීය සහ ධර්මදූත පුහුණුවකින් පසු එනම් සතර වන වසර දේවධර්මය අවසන් කිරීමෙන් පසු තම කැඳවීම පිළිබඳව ස්ථීර තීරණයකට එළඹීමෙන් පසු තේවාචාර්‍යවරය ලැබෙන අතර, ඉන්පසු එම තේවාචාර්‍යවරුන් මීසම් හී සේවයට යවනු ලබනවා.

මෙසේ මීසම් වල සේවය කිරීමෙන් ද අත්දැකීම් ලබාගන්නා තේවාචාර්‍යවරුන්ට තම තමුන් ගේ පදවි වලදී, තමන්ගේ රදගුරුතුමා අතින් මෙතරම් කාලයක් බලාපොරොත්තුවෙන් සිටි, මෙතරම් කාලයක් පුහුණුවීම් ලැබූ පූජක වරම් ලැබෙනවා. බොහෝ විට මෙම පූජාත්වර දේව මෙහෙය පදවියේ ආසන දෙව්මැදුරේ දී යි පවත්වනු ලබන්නේ. මෙසේ පූජක වරම් ලැබූ නවක පියතුමා පසුදින තම ගමේ දේවස්ථානයේ දී තමාගේ කුළුඳුල් දිව්‍ය යාගය පවත්වනවා.


22 comments:

  1. 1. මම සක්‍රමේන්තු හයම ලියලා මේක ලියන්ඩ දන්නා කරුණු මදි නිසා පසුවට කල් දාලා තිබ්බ ලිපියක්.. ඔන්න ගිහාන් සහෝදරතුමා සම්පූර්ණ කරලා.. ස්තුතියි...

    2. "මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වන්නේ පදවි පූජකයකු වෙන ආකාරයයි" ඊට අමතරව පූජකතුමන්ලා ඇතුළු පැවිදිවරුන් අතර පවතින නිකාය භෙදය ගැනත් ලිව්වොත් මොකද? කෙටියෙන් පැහැදිලි කිරීමට අමාරු නම් වෙනම ලිපියකින් හරි පැහැදිලි කරන්ඩ..

    3. ඒ ඒ නිකායන්ට බඳවා ගැනීමේදී අවශ‍ය මූලික සුදුසුකම් වෙනස් වෙනවාද? මෙතන පදවි පූජකයෙකු වීමේ මූලික සුදුසුකමුත් පැහැදිලි නෑ වගේ.. :)

    4. පදවි පූජක ධූරයට පත් වීමේ අවම පුහුණු කාලය කොපමණද? අවුරුදු 14? එතකොට සමහර තෝරාගත් අය විදේශ විශ්වවිද්‍යාල වලට ඇතුළත් වෙන්නෙ කුමන පදනමක් මතද?

    5. "මෙය ඉංග්‍රීසි භාෂාව පිළිබඳව වාචිකව සහ ලිඛිතව පැවැත්වෙන ජාතික දෙව්සත්හලට ඇතුලත්වීමේ විභාගයයි" විභාග අසමත් වීම පූජකවරයෙකු වීමේ අවස්ථාව අහිමි කරනවාද?

    6. පූජක ධූරයට පත් කිරීමේ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳවත් සඳහන් කළා නම් හොඳයි...

    7. කෙනෙකු පූජකධූරයට පත් කිරීමට පෙර ඔහුගේ පවුල් පසුබිමත් ගැඹුරින් හොයා බලන බවත් පවුලේ අයගේ යම් යම් වැරදි නිසා සමහර අයව දෙව්සත්හලෙන් නෙරපා හැරි බවත් මා අසා තිබෙනවා. මේ කතා ඇත්තද? කටකතාද? ඇත්ත නම් අනික් අයගේ වැරදි වලට වෙනත් කෙනෙකුට දඬුවම් කිරීම කෙතරම් සාධාරණද?

    8. ඒ කාලෙ ඉගෙනගෙන පනින්ඩ බලාගෙන සෙමනේරි යන කට්ටියත් හිටියා නේද? දැන් උනත් ඉතින් යන අයගෙන් බාගෙට බාගයක් මගදි ආපහු හැරෙනවනෙ.. මේ විදිහට කෙනෙකු පැවිදි ජීවිතයේ දිගටම රැඳී සිටීදැයි බලන්ඩ කෙරෙන පරීක්ෂණ තියෙනවාද?

    9. මුළු ලංකාවෙම පදවිවල අය අන්තිමේදි අම්පිටියට එකතු වෙනවද?

    10. අනික නිකායන්ටත් මේ දෙව්සත්හල්වල ඉගෙනගැනීමේ වරම ලැබෙනවාද? නැත්නම් ඔවුන් වෙන වෙනමද පුහුණු වීම් කරන්නෙ?

    ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. 1. ස්තූතියට බොහොම ස්තූතියි. හැබැයි මෙතන පූජාත්වරය කියන සක්‍රමේන්තුව ගැන හරියටම පැහැදිළි කරලා නෑ.

      2. පදවි පූජකයෝ බොහෝ වෙලාවට පදවිය තුළ මීසම් වල හෝ ආයතන වල සේවය කරනවා. නිකාය පූජකයන්ට ඔවුන්ගේ නිකායනට වෙන්වූ සේවයක් තියනවා. උදාහරණ හැටියට නිමල මරිය නිකාය දේශනාවාදියෝ (ඥානකාන්ති මෙහෙයවීම වගේ), මාරිස්ට් නිකාය ඉගැන්වීම.

      3. පොඩි පොඩි වෙනස්කම් තිබෙන්නට පුළුවන්, හැබැයි වයස අවුරුදු 14ට වැඩි නම් පුළුවන්. ඒ වගේම උසස් පෙළ සමත්විය යුතු වෙනවා.

      4. පදවි පූජක වරයෙකු වීමට අවම වශයෙන් වසර 8ක් දෙව්සත්හල් පුහුණුව ලැබිය යුතුයි. (කුඩා දෙව්සත්හල - වසර 1, කලුතර - වසර 1, නුවර - වසර 6)
      විදේශ වලට යවන්නේ දෙව්සතහල් කමිටුවේ සහ පදවියේ දේව කැඳවීම් කමිටුවේ නිර්දේශය මතයි.

      5. මේ විභාගය සමත්විය යුතු වෙනවා, මොකද සියළුම ඉගැන්වීම් වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා. මේ විභාගය පළවෙනි වතාවෙන්ම සමත් විය යුතු නෑ, බොහෝ අය සිටිනවා මෙය දෙවෙනි වර තෙවෙනි වර සමත් වූ. ඊට අමතරව කුඩා දෙව්සත්හලෙන් මේ විභාගය සඳහා හොඳ පුහුණුවක් දෙනවා.

      6. මම මුලින් සඳහන් කළා වගේ මේක පූජාත්වරය නමැති සක්‍රමේන්තුව කේන්ද්‍ර කරගෙන ලියවුන ලිපියක් නොවන නිසයි ඒවා නැත්තේ.

      7. දෙව්සත්හලට ගැනීමේදී අනිවාර්‍යයෙන්ම පවුල් පසුබිමත්, එම පුද්ගලයාගේ ක්‍රියා කලාපයත් සළකා බලනවා. මොකද කෙනෙකුගේ හැදියාවට පවුල් පසුබිම හේතු වන නිසා. ඒ නිසයි බොහෝ විට පියතුමකුගෙන් දෙව්සත්හලට යන්න ඇසූ විට ටිකක් කල් ගන්නේ. දෙව්සත්හලට ගැනීමට පෙර මේ ගැන සොයා බලන නිසා. සාධාරණ හේතුවක් නැතිව දෙව්සත්හලෙන් යවන්නේ නෑ. හැබැයි සමහර අවස්ථාවන් වාර්ථා වෙලා තියනවා දෙව්සත්හලෙන් යවපු හේතුව නෙමේ සමාජයට ගිහිල්ලා තියෙන්නේ. දෙව්සත්හල තුළ විභාග වලදී කොපි කිරීම, ගහ ගැනීම වැනි දේ වලදී කෙළින්ම ගෙදර යවන නමුත්, අනෙක් වැරදි වලදි ගෙදර යැව්වද එම වැරදි හදාගෙන නැවත පැමිණීමේ හැකියාවක් තියනවා.

      8. කාලයක් එහෙම ඉදලා තියනවා. තේවාචාර්‍යවරය දක්වාම කෙනෙකුට තීරණය කරන්න පුළුවන් තමන් දිගටම මේ ගමන යනවාද, නැත්නම් නවතිනවාද කියලා. මොකද සමහර විට ආශාවට ආපු අය වගේම, පසු කාලයේ පවුල තුළ සිදුවන වෙනස්කම් සමඟ තමන්ගේ තීරණය වෙනස් කරන්න පුළුවන්. මොකද දෙව්සත්හලට ඇතුලත් වුනාට පස්සේ අනිවාර්‍යයෙන්ම ඒ කෙනා පියතුමකු විය යුතු නොවන නිසා. ඒ වගේම දෙව්සත්හල තුළ සෑම කෙනෙකුටම ආත්මීක අධ්‍යක්ෂ පියතුමකු ඉන්නවා මේවාට මඟ පෙන්වන්න.

      9. ඔව්, හැබැයි යාපනය හැරුණු විට. මොකද යුද්ධය කාලේ ඒ 9 පාර වහලා තිබ්බ නිසා ඔවුන්ට නුවර එන්න හැකිවුනේ නැහැ. එම නිසා රදගුරු මඩුල්ලේ තීරණයෙන් යාපනයේ දර්ශන විද්‍යා පීඨයක් වගේම, දේව ධර්ම පීඨයක් තිබෙනවා. දැන් කොළඹ පදවියෙන් ද නුවරට අමතරව යාපනයටත් දර්ශන විද්‍යාව ඉගෙන ගන්න යවනවා.

      10. මූලික පුහුණුව සඳහා ඔවුන්ගේ දෙව්සත්හල් තිබෙනවා. ඊට අමතරව අනෙක් නිකායයන් දර්ශන විද්‍යාව සහ දේව ධර්මය ඉගෙන ගන්න ඔවුන් ගේ දෙව්සත්හල් වල සිට අම්පිටිය දෙව්සත්හලට එනවා.

      ඔබටත් ස්තූතියි.

      Delete
    2. පිළිතුරුවලට බොහෝම ස්තුතියි සහෝදරතුමා.. අපැහැදිලි තැන් හුඟක් පැහැදිලි උනා..

      Delete
    3. හරී අපිටත් එක්කම ප්‍රශ්න අහලානේ :D

      Delete
    4. @ Hasitha,

      ඒක සාමාන්‍යය දෙයක් නේ.

      Delete
  2. //..වතු වැඩ (වැටකට කනු සිටුවන්න යමින්....//

    වැටකට කණු හිටවන්න ගන්නේ බුල්ඩෝසර්ද :P

    සහෝදරතුමන්ලාට හරි පියතුමන්ලාට හරි සාමාන්‍ය ජනතාව අඳින ඇඳුම් අදින්න පුලුවන්ද ? මම අහන්නේ ඔවුන්ට නියමිත ඇඳුමෙන්ම සැරසිලා ඉන්න එක අනිවාර්ය නැද්ද ??

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න පරක්කු වුනාට.

      //වැටකට කණු හිටවන්න ගන්නේ බුල්ඩෝසර්ද :P//

      JCB එකේ කනු පටෝලා තියෙනවා පේන්නෙ නැද්ද? මම හිතන්නේ කන්ණාඩි පාවිච්චි කරන්න වෙයි වගේ. :)

      //සහෝදරතුමන්ලාට හරි පියතුමන්ලාට හරි සාමාන්‍ය ජනතාව අඳින ඇඳුම් අදින්න පුලුවන්ද ? මම අහන්නේ ඔවුන්ට නියමිත ඇඳුමෙන්ම සැරසිලා ඉන්න එක අනිවාර්ය නැද්ද ??//

      සහෝදරතුමන්ලාට නම් එහෙම ප්‍රශ්නයක් නෑ. පියතුමන්ලාට ආගමීක වැඩ කටයුත්තකදී, නිල රාජකාරියකදී අනිවාර්‍යයෙන්ම ලෝගුව ඇඳිය යුතුයි.ඒ වගේම ලැගුම් ගෙය තුළ ඉන්න විට සාමාන්‍ය ඇඳුමෙන් සිටිය හැකියි.

      Delete
    2. ස්තුතියි ඔබතුමාට :)

      Delete
  3. ඔබ සහෝදර තුමකු බව නොදැQනයි මෙතරම් දවසක් නමින්ම ඇමතුවේ.. මුලින්ම ඒ පිළිබඳව ඔබෙන් සමාව අයදිනවා.

    පියතුමකු වෙන්න කලින් සහෝදර තුමකු වීම අනිවාර්‍‍යද ?
    අම්පිටියට යන හැම දෙනාම සහෝදර තුමන්ලාද ?
    අම්පිටියේ අධ්‍යාපනය අහවර වීමෙන් නැවත සාමාන්‍යය සමාජයේ කාලයක් ගත කර තීරණයක් ගැනීමට අවස්ථාවක් දෙනවා නේද ? එහෙම එන සමහරු තමන් පැවිදි ජීවිතයට නොයන බව තීරණය කරණවා නේද ? මගෙත් එවැනි යාළුවෙක් හිටියා.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන නෑ.

      පියතුමකු වෙන ගමනේ එක සංධිස්ථානයක් තමා සහෝදරතුමකු වීම. කුඩා දෙව්සත්හලෙන් ඉදිරියට යන අය, ඒ කියන්නේ කලුතර දෙව්සත්හලට ඇතුළු වීමෙන් පස්සේ ඒ අය සහෝදරතුමන්ලා.

      අම්පිටියේ සියළු දෙනාම සහෝදරතුමන්ලා යි.

      සාමාන්‍යයෙන් පූජාත්වරය දක්වාම තමන්ට තීරණය කරන්න පුළුවන්, මොකක්ද තමන්ට සුදුසු ගමන කියලා. සාමාන්‍යයෙන් දෙව්සතහලක ඉන්න බහුතරයක් 9 වසරෙන් පමණ (අවු. 14 දී) දෙව්සත්හලට ආව අය. ඒ අය ගොඩාක් වෙලාවට එන්නේ ආසවට. ඉතින් මේ සමාජයේ කාලයක් ගත කරන්න දෙන්නේ, ඒ අයට සමාජය ගැන වැටහීමක් අරගෙන හොඳ තීරණයක් ගන්න. ඉතින් සමහරක් දිගටම යනවා, අනෙක් අය ගිහි ජීවිතය තෝර ගන්නවා.

      Delete
    2. ඒත් සමහර සහෝදරතුමන්ලා ඉන්නවා නේද පූජකවරයට ඇතුලත් නොවෙන.. මාරිස්ට් සහෝදරතුමන්ලා වගේ අය..ඔවුන්ගෙ පැවිදි ජීවිතය සහෝදරතුමකු වීමට පමණක් සීමා වෙනවද ? ඔවුන්ටත් කැමතිනම් පූජකවරය දක්වා යන්න පුළුවන්ද ?

      Delete
    3. මට පස්සෙයි මතක් වුනේ මේ ගැන කිව්වේ නෑ නේද කියලා.

      මාරිස්ට් සහෝදරතුමන්ලා, කොටහේනේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කරන ඩි ලසාල් සහෝදරතුමන්ලා වගේ අය දිගටම සහෝදරතුමන්ලා හැටියට තමා ඉන්නේ. මොකද ඔවුන්ගේ නිකාය සහෝදරතුමන්ලා ගේ නිකායක්. පූජකවරය දක්වා යනවා නම් ඔවුන්ට නිකාය මාරු කරන්න වෙනවා. හැබැයි ෆ්‍රැන්සිස්කානු නිකායේ සහෝදරතුමන්ලා සහ පූජකවරු දෙකොට්ටාශයම ඉන්නවා. කැමති අයට සහෝදරතුමකු හැටියටම දිගටම ඉන්නත් පුළුවන්.

      Delete
  4. දෙව්සත්හලට ඇතුළත් නොවී ඇති උසස් පෙල සමත් අයට ඇතුළත් විය හැක්කේ කොහොමද ? කුමන සෙමනේරියටද ?

    ReplyDelete
    Replies
    1. ඔබ පදවි පූජකයකු වන්නට කැමති නම් ඒ අදාල පදවියේ කුඩා දෙව්සත්හලට ප්‍රථමයෙන්ම ඇතුලත් විය යුතු වෙනවා. නිකායකට බැඳෙනවා නම් ඒ අදාල නිකායෙන් විමසිය යුතු වෙනවා. කෙසේ වෙතත් උසස් පෙළ සමත් වුනත් දෙව්සත්හල් ජීවිතය ගත කළ යුතු වෙනවා.

      Delete
  5. දෙව්සත්හලට ඇතුළත් කර ගන්නා උපරිම වයස කීයද ?

    ReplyDelete
    Replies
    1. එහෙම නිෂ්චිත උපරිම රාමුවක් නෑ.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete