Monday 27 May 2013

හතලිස්දෙදාහේ ඡායාරූප ශිල්පියා



අද කතා කරන්න යන්නේ කතෝලික පියතුමෙක් ගැනයි. හැබැයි ටිකක් විතර වෙනස් කතාවක්. මේ ලිපිය ලියන්න කටයුතු සැළසුණෙත් හරි අහම්බෙන්.

දවසක් කුරුන්දේ පරණ ලිපි කියවගෙන යන ගමන් මේ ලිපියට ගොඩවුණා. ඒ ලිපිය කියවද්දී මෙන්න මෙතනට යන්න පාරක් දීලා තිබ්බා. ඉතින් ඒ පාර දිගේ යද්දී තිබ්බේ කුරුන්දේ සෙන්නා ට, විදෙස් සිත්තරා ගහපු පොඩි මඩ පාරක් තියන (තව අතකින් ප්‍රචාරයක් දීපූ) කාටුන් එකක්. ඉතින් ඒ කාටුන් එකට පාදක වෙච්ච සබැඳියත් අතන දාලා තිබ්බා. ඒ සබැඳිය හරහා ආයේ ආවා කුරුන්දට. මොනවා ගැනද දන්නවද කුරුන්දේ ලියලා තිබ්බේ? ඒකෙ තිබ්බේ අර 1900 බර ගණන් වල අයිස් පරයක හැප්පිලා ගිලුණ ටයිටැනික් නැව ගැන. ඔව් ඔව් ඒ අර ජැක්, රෝස් දෙන්නා හිටියේ; හැබැයි මේකේ තිබ්බේ ඒ දෙන්නා ගැන නෙමේ, නැවේ ඉතිහාස කතාවයි. 1912 අප්‍රේල් 15 මේ ප්‍රසිද්ධ නැව, ඒ අප්‍රසිද්ධ අයිස් පරයේ හැප්පිලා ගිලෙද්දී මුහුදු පතුලට අරගෙන ගියේ ඒකේ ගමන් කරපු මඟීන් විතරක් නෙමේ, ඒ මඟීන් නැව තුළ ගත කරපු ජීවිත රටාවත් එක්කයි. හැබැයි ඔය නැවේ ගමන් කරපු එක මඟියෙක් හින්දා, එදා ඒ මඟීන් ගත කරපු ජීවිත රටාව අද වුනත් අපිට දැකගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ මඟියා තමා ජේසු නිකායික ෆ්‍රැන්සිස් බ්‍රවුන් (Francis Browne) පියතුමා යි. අද කවුළු පියන්පතෙන් එහා ඔබට දකින්න ලැබෙන්නේ මේ පියතුමා ගේ කතාවයි.

1880 ජනවාරි 3 වන දින අයර්ලන්තේ කෝක් (Cork) නඟරයේ උපත ලද ෆ්‍රැන්සිස්, ජේම්ස් (James) සහ බ්‍රිජිඩ් (Brigid) යුවලට දාව උපන් දරුවන් 8 දෙනා ගෙන් බාලයායි. 1989 සැප්තැම්බර් 2 වන දින තම පියා ගේ මරණින් පසු කුඩා ෆ්‍රැන්සිස් ව හදා වඩා ගන්නේ ඔහුගේ බාප්පා වන රදගුරු රොබට් බ්‍රවුන් (Robert Browne, Bishop of Cloyne). ඔහුට තම පළමු කැමරාව ලබා දෙන්නේ ද මේ බාප්පායි. 

සාන්ත වින්සන්ට් කාසල්නොක් පාසලෙන් (St. Vincent's Castleknock College) උපාධි ලබන ෆ්‍රැන්සිස් යුරෝපයේ සංචාරයක නියැලෙනවා. ඔහුගේ බාප්පා කැමරාව ලබාදෙන්නේ මේ සංචාරයට පෙරාතුවයි. මෙම යුරෝපා සංචාරය තමාගේ 42,000 ක් පමණ වන ඡායාරූප එකතුවේ මූලාරම්භය බවට ෆ්‍රැන්සිස් පත්කර ගන්නවා.

නැවත අයර්ලන්තෙට පැමිණෙන ඔහු ජේසු නිකායට බැඳී පූජක පුහුණුව ලබනවා. මේ අතර 1912 අප්‍රේල් මාසයේ දී ඔහුගේ බාප්පාගෙන් විශේෂ තෑග්ගක් ලැබෙනවා, ඒ RMS Titanic නෞකාවේ මංගල ගමනට (එංගලන්තේ සදම්ටන් වරායේ සිට අයර්ලන්තේ ක්වීන්ස්ටවුන් දක්වා) සහභාගි වීමට ප්‍රථම පන්තියේ ප්‍රවේශ පත්‍රයක්.

1912 අප්‍රේල් 10 වන දින පස්වරුවේ නැවට ගොඩවෙන ෆ්‍රැන්සිස් ට ලැබෙන්නේ Promenade Deck හෙවත් සක්මන් තට්ටුවේ A37 කාමරයයි. නැවට ගොඩවූ වෙලේ පටන් ෆ්‍රැන්සිස් තමාගේ රාජකාරිය, එනම් ඡායාරූප ගැනීම පටන් ගත්තා. ඡායාරූපකරණය ඔහුගේ විනෝදාංශය වගේම ජීවිතයේ කොටසක් වෙලයි තිබ්බේ. 
ඔහුගේ තෙවෙනි ඇසට අසුවූ ප්‍රදේශ අතර ව්‍යායාම ශාලාව, මාර්කෝනි කාමරය, ප්‍රථම පංතියේ භෝජන ශාලාව, ඔහුගේ කාමරය සහ නැවේ සක්මන් තට්ටු වැනි ප්‍රදේශ වුණා. අවසාන වශයෙන් කැමරාවක සටහන් වුණ පුද්ගලයන් අතර කපිතාන් ස්මිත් (Captain Edward J. Smith), ව්‍යායාම් උපදේශක මැක්කොවුලි (T. W. McCawley), විදුලි ඉංජිනේරු විලියම් පාර් (William Paar), මේජර් බට් (Major Archibaald Butt) වැනි පුද්ගලයන් ද, නාමිකව නොදන්නා තෙවැනි පංතියේ මඟීන් කිහිප දෙනෙක් ද ඇතුලත්. 
සදම්ටන් වරාය බලා යාමට දුම්රිය ස්ථානයේ


දුම්රිය ගමන

සදම්ටන් වරායේ ආසන්න අනතුර 

සදම්ටන් වරායේ අනතුර වළක්වන කුඩා යාත්‍රා

සදම්ටන් වරායේ අනතුර - New York නැව Titanic වෙතින් අහකට තල්ලු කරමින්

සදම්ටන් වරායට රොක්වූ පිරිස්
ඔහුගේ කාමරය
ව්‍යායාම් ශාලාව - සිටින්නේ ව්‍යායාම් උපදේශක මැක්කොවුලි (T. W. McCawley), විදුලි ඉංජිනේරු විලියම් පාර් (William Paar)
කියවීම් ශාලාව
මාර්කෝනි කාමරය
ඈතින් සිටින්නේ මේජර් බට් (Major Archibaald Butt)

ප්‍රථම පංතියේ කෑම ශාලාව
ඔහුට ලැබුන නැවේ සැලැස්ම
නැවට තැපැල් මලු පටවමින්
නැවේ බඳේ සවිකර තිබූ ඝන යකඩ තහඩු

දිනක් ෆ්‍රැන්සිස් සමඟ එක මේසයේ ආහාර ගනිමින් සිටි පොහොසත් ඇමරිකානු යුවලක්, ඔහු සමඟ මිත්‍ර වී ඇමරිකාව දක්වාම යාමට සියළු වියදම් දැරීමට එකඟ වී තිබෙනවා. ෆ්‍රැන්සිස් මේ සඳහා අවසර පතා තම ප්‍රාදේශාධිපති පියතුමාට ටෙලෙග්‍රාෆ් පණිවිඩයක් යවනවා. හැරෙන තැපෑලෙන් ඔහුට ලැබෙන පිළිතුර වන්නේ "GET OFF THAT SHIP - PROVINCIAL" (නැවෙන් බහින්න - ප්‍රාදේශාධිපති). මෙම අවසරය ප්‍රතික්ෂේප කිරීම ඔහුගේ ජීවිතය ආරක්ෂා වීම පමණක් නොව, ටයිටැනික් නැව තුළ මඟීන් ගතකළ ජීවිතය ගැන වැටහීමක් ලබාගැනීමේ අවස්ථාව ද ආරක්ෂා වුණා. 

අප්‍රේල් 11 වන දින අයර්ලන්තේ ක්වින්ස්ටවුන් වරායේ දී නැවෙන් බැසයන ෆ්‍රැන්සිස් තමාගේ දේවධර්ම අධ්‍යයන කටයුතු  සඳහා ඩබ්ලින් බලා පිටත් වෙනවා. ටයිටැනික් නැවේ අවසාන ඡායාරූපය ගනු ලබන්නේ මෙසේ ඔහු ටයිටැනික් නැවේ සිට America නමැති කුඩා යාත්‍රාවෙන් ක්වින්ස්ටවුන් වරායට පිටත් වන විටයි. නැවේ මුහුදුබත් වීම ආරංචි වීමත් සමඟ තමාගේ ඡායාරූප බොහෝ ප්‍රයෝජනවත් විය හැකි බව ඔහුට වැටහෙනවා. මෙසේ ඔහුගේ ඡායාරූප පුවත්පත්, සඟරා වල පළවෙන අතර ප්‍රතිච්ඡායා (negatives) සියල්ලම තමා ලඟ තබා ගන්නවා.

ක්වින්ස්ටන් වරායෙන් ඔහුත් සමඟ නැවෙන් බැස ගිය පිරිස
නැවේ අවසන් ඡායාරූපය
1915 ජූලි 31 දින පූජක වරම් ලබන ෆ්‍රැන්සිස්ව අයර්ලන්ත හමුදාවේ උපාධ්‍ය පියතුමා හැටියට යුරෝපයට යවනවා. 1920 දක්වා මෙසේ ඉන්න ෆ්‍රැන්සිස් පියතුමා පස් වතාවකදී යුද්ධය අතරතුර තුවාල ලබනවා. මෙයින් එක් අවස්ථාවක බරපතල විදිහට තුවාල ලබන්නේ ගෑස් ප්‍රහාරයකට අසුවීමෙනුයි. මෙසේ ඉන්න අතරතුර ද ඔහු තමාගේ විනෝදාංශය අතහැරියේ නෑ. ඔහුගේ කැමරා කාචයට හසුවුණ යුධ ඡායාරූප ප්‍රමාණය ද අති විශාලයි. 

යුද්ධයෙන් පසු නැවතත් අයර්ලන්තයට පැමිණි ෆ්‍රැන්සිස් පියතුමාව ඩබ්ලින් (Dublin) නුවර ගඩිනර් වීදිය දේවස්ථානයේ (Gardiner Street Church) ප්‍රධානියා ලෙස 1922 දී පත් කරනවා. 1924 දී ඔහුව ඔස්ට්‍රේලියාවට යවන අතර, ඒ යන අතරතුර නාවික ගමනේ ද,  ඔස්ට්‍රේලියාවේ ද ඡායාරූප ඔහුගේ ඡායාරූප ගොන්නට එක්වෙනවා. නැවත අයර්ලන්තය බලා එන  අතරතුර ඔහු ලංකාව (Ceylon), ආදන් (Aden), සුඑස් (Suez), සලෝනිකි (Saloniki), නාපෝලි (Naples), ටූලෝන් (Toulon), ගිබ්‍රල්තාර් (Gibraltar), අල්ජෙසිරාස් (Algeciras) සහ ලිස්බන් (Lisbon) දැක බලාගන්නා අතර, ඒ ඒ ප්‍රදේශ වල ජන ජීවිතය, නාවික තොටේ ක්‍රියාකාරකම් ඔහුගේ කැමරාවේ සටහන් වෙනවා. සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු ඡායාරූප 42,000 කට වඩා ලබාගෙන ඇති බවයි. 

1960 වසරේ ඩබ්ලින් නුවර දී මිය යන ෆ්‍රැන්සිස් පියතුමා ගේ සිරුර ග්ලස්නෙවින් සුසාන භූමියේ (Glasnevin Cemetery) භූමදාන කරනවා. ඔහුගේ මරණින් වසර 25 ක් යනතුරු ඔහුගේ ප්‍රතිච්ඡායා (negatives) එකතුව සියළු දෙනාගෙන්ම වසන්ව පවතිනවා. නමුත් 1986 වසරේ දී මේ සියල්ල අහම්බෙන් එඩ්වර්ඩ් පියතුමාට (Fr. Edward E. O'Donnell, SJ) හමුවීමත් සමඟ මේ ඡායාරූප එකතුව නැවතත් සමාජයට දැකගන්න ලැබෙනවා.
ජේසු නිකායේ අයර්ලන්ත ප්‍රාදේශිකය මේ ඡායාරූප ප්‍රතිච්ඡායා එකතුව සංරක්ෂණය කරන්නට පියවර ගන්නවා. එලෙස ඔවුන් මේ කාර්‍ය්ය ඡායාරූප සංරක්ෂණ විශේෂඥයින් වන ඩේවිඩ් සහ එඩ්වින් දෙපළට (David and Edwin Davison) භාර දෙනවා. ඔවුන් සෑම ප්‍රතිච්ඡායාවක්ම පිඅපත් කර, සංඛ්‍යාංක පිටපත් ද (digital copies) මතු පරම්පරා වලට ප්‍රයෝජනයට ගැනීමට ලබා ගන්නවා.

ටයිටැනික් නැවේ 100 වැනි සංවත්සරයට අයර්ලන්තයේ තැපැල් දෙපාර්තමේන්තුව 2012 අප්‍රේල් මාසයේ දී ෆ්‍රැන්සිස් පියතුමා ගේ රුව රැගත් මුද්දරයක් නිකුත් කරනවා.

ප.ලි.: මෙයට අමතරව වැඩිපුර ඡායාරූප බැලීමට මෙතනින් යන්න. සියළුම ඡායාරූප ගනු ලැබුවේ http://www.fatherbrowne.com/ ලිපිනයෙන් වන අතර, ඒවා උපයෝගි කොටගෙන ඇත්තේ අධ්‍යාපණික කටයුත්තකට පමණක් බවද සළකන්න.

විභාග කටයුතු නිසා මාසයක් බ්ලොග් ලෝකයෙන් ඈත්වී සිටීමට සිදුවන බව ද කරුණාවෙන් සළකන්න.

මූලාශ්‍ර:

6 comments:

  1. හරි අපූරු කතාවක්නෙ.. මේක මීට කලින් කියෙව්වා වගේ මතකයකුත් තියනවා කොහෙන්ද කියලා මතක නෑ..

    වහාම නැවෙන් බහින්න කිව්වෙ ඔවුන් යම් විදිහකින් වෙන්න තියන අනතුර දැනගෙනවත්දෝ !!!

    ඔච්චර ඡායාරූප ගත්තෙ කොහොමද ? මොකක්ද දන්නෑ ඒ කාලේ තිබුන තාක්ශණය.. මේ ලඟක් වෙනකම්ම ඡායාරූප ගොන්නක් ගන්න ඕනනම් රීල් මල්ලක් කරේ තියන් යන්න ඕනා කම තිබුනනෙ..

    මේ පින්තූර ටිකනම් අපූරුයි.. ඔහු අර අනතුර වෙන්න යන එකත් හරිම අපූරුවට කැමරාවට හසු කරගෙනනෙ..

    විභාගයෙන් ජයම පතනවා !!

    ReplyDelete
    Replies
    1. සමහරවිට සෙන්නා මේ කතාව ටයිටැනික් නැවේ කතාව ලියද්දී කියවලා ඇති. ඒ ලිපිය හරහා තමා මටත් මේක ලියන්න අදහස ආවේ. මොකද සෙන්නා ගේ ටයිටැනික් ලිපියේ මේ පියතුමා ගැන සඳහන් වුණ තැන, මේ පියතුමා ගැන විකිපීඩියාවේ තියන ලිපියට සබැඳිය දීලා තිබුණා.

      මම හිතන්නේ නැවෙන් බහින්න කිව්වේ ඔහු තවමත් පූජක පුහුණුව සඳහා ඉගෙනුම ලබමින් සිටි නිසා කියලා. මොකද ඔහු New York වෙනකන්ම ගියා නම් තව දවස් යන නිසා.

      මම හිතන්නේ නම් රීල් වලින් වෙන්න ඇති. ඒක නේ ප්‍රතිච්ඡායා (negatives) ගැන කතා කරන්නේ.

      මෙතන තියෙන්නේ පින්තූර බොහෝම ටිකයි. මම දීලා තියෙන සබැඳියෙන් ගිහිල්ලා බලන්න තව ඒවා.

      ස්තූතියි, අද පළවෙනි එක තිබ්බා, ඒක ඉවර වෙලා තමා පොඩ්ඩක් මනස සැහැල්ලු කරගන්න මේ පැත්තට ආවේ.

      Delete
  2. අපූරු විස්තරයක්.. ප්‍රාදේශාධිපති පියතුමාට පින් දෙන්ඩ ඕනෑ ජීවිතේ බේරලා දුන්නට..

    ජැක්වයි රෝස්වයි අහුවෙලා නැතුව ඇති නේද? :)

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත, නැත්නම් අපිට ඔය වගේ ලස්සන ටයිටැනික් ඡායාරූප බලන්න හම්බෙන්නේ නෑ නේ.

      ඒ දෙන්නා නම් හරිම ලැජ්ජා බයට හැදිච්ච දෙන්නෙක්ලු. ෆොටෝ ගන්න යද්දිම හැංගෙනවලු. :P

      Delete
  3. තවත් බොහෝ කාලයක් යනකම් ටයිටැනික් නැවේ අප්‍රකට කතා ගැන ලෝකයා කතා කරාවි :) ඔබතුමාටත් බොහොම ස්තුතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තාට. ආහ් විභාගයට මගෙනුත් සුභ පැතුම් :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත, තව බොහෝ කාලයක් යනකම් කතා කරන්න ප්‍රකට සහ අප්‍රකට කතා බොහෝ ඇති.

      ස්තූතියේ භාගයක් සෙන්නා ටත් යන්න ඕනා, මොකද සෙන්නා ගේ ටයිටැනික් ලිපියේ මේ පියතුමා ගැන සඳහන් කරලා තිබුන හින්දයි මම මේ ගැන හොයලා බැලුවේ.

      ස්තූතියි ව්භාගෙට සුභ පැතුවට. අද තව එකක් ඉවර කළා, තව 4ක් ඉතුරුයි.

      Delete