Wednesday 4 December 2013

ඇයි මේ පාට පාට?

පින්තූරය ගත්තේ මෙතනින්


අද කියන්න යන්නේ පාට පාට කතාවක්. මොකද මේ කාලෙකට කොළ පාට, තවත් කාලෙකට දම් පාට, සමහර දවස් වලට රතු පාට, තවත් සමහර දවස් වලට සුදු පාට? මේ ප්‍රශ්න සේරටම උත්තර මේ ලිපිය කියවලා ඉවර වෙද්දී ලැබෙයි. එහෙම නොතේරුණ තැනක් තිබ්බොත් අහලා පැහැදිළි කරගන්න පුළුවන්.

දැන් කට්ටිය බලනවා ඇති මොනවාද මේ කියවන්නේ කියලා. මම මේ කතා කරන්න යන්නේ පසුගිය ඉරුදින ආරම්භ වුන කතෝලික ජනවන්දනා වසර ගැනයි. තවත් විදිහකට කියනවා නම්, කතෝලික ආගමේ වත් පිළිවෙත් වසරක් තුළ බෙදී යන ආකාරය.

අපේ සාමාන්‍යය එදිනෙදා වසරක සෘතු 4 ක් (ශ්‍රී ලංකාවේ නොමැති වුවත්), මාස 12 ක්, සති 52 ක්, දින 365 ක්, නිවාඩු, විශේෂ උත්සව දින, සිහිවටන/ සැමරුම් දින වලින් සමන්විත වෙනවා වගේ, කතෝලික ජනවන්දනා වසරේත් මේ වගේ විශේෂාංගයන් දක්නට ලැබෙනවා.

ජනවන්දනා වසර ආගමන සමය, නත්තල් සමය, චතාරික සමය, පාස්කු සමය සහ සාමාන්‍යය සමය ලෙස කොටස් වලට බෙදෙනවා. ජනවන්දනා වසර ආරම්භ වන්නේ ආගමන සමයේ පළවන ඉරිදායි (මෙම වසරේ එය පසුගිය ඉරිදා දිනයට යෙදී තිබුණා). මෙසේ ආරම්භ වන වසර අවසන් වන්නේ ක්‍රිස්තු රාජ මංගල්‍යයත් සමඟයි.

කතෝලික ජනවන්දනා වසර මේ ආකාරයට සකස් කර තිබෙන්නේ ජේසුස් වහන්සේ ගේ ජීවිතය, එනම් උන්වහන්සේ ගේ පිළිසිඳ ගැනීම, උපතේ සිට උත්ථාන වීම දක්වා සහ උන්වහන්සේ ගේ නැවත පැමිණීම දක්වා අවස්ථා හොඳින් තේරුම් ගැනීමටයි. 

ජනවන්දනා වසර විසින් දිනයට නියමිත බයිබල් කියවීම ලබාදෙන අතර, ඒ ඒ සමයේ ඇතුලත් වන විශේෂ මංගල දිනයන් සහ සිහිවටන දිනයන් ද සඳහන් කරනවා. ජනවන්දනා වසර අපට සන්නිවේදනය කරන තව දෙයක් වන්නේ ඒ ඒ ජනවන්දනා මෙහෙයන් හීදී පියතුමා පැළඳිය යුතු පූජක ඇඳුම් වල වර්ණයන්. එක් එක් කාලයන් හී වර්ණයන් මෙසේයි. ආගමන සමය - දම්, නත්තල් සමය - සුදු/රත්‍රන්, චතාරික සමය- දම්, පාස්කු සමය - සුදු/රත්‍රන් සහ සාමාන්‍යය සමය - කොළ. ඊට අමතරව දිනට අදාල ශුද්ධවන්තයාට අනුව, එනම් සාමාන්‍යය ශුද්ධවන්තයනට සුදු පැහැයද, ප්‍රාණපරිත්‍යාගීවරුනට රතු පැහැය ලෙසද අදාල පාට වෙනස් වෙනවා.

ජනවන්දනා චක්‍රය වසර 3 කින් සමන්විත වෙනවා. වසර 'A' සමන්විත වන්නේ මැතිව් සුභාරංචියෙන් වන අතර, වසර 'B' මාක් සුභාරංචියෙන් ද, වසර 'C' ලූක් සුභාරංචියෙන් ද සමන්විත වෙනවා. මේ අතර ජුවාම් සුභාරංචිය වසර පුරාවටම ද විශේෂයෙන් පාස්කු සමයේ දී භාවිතා වෙනවා.


ආගමන සමය - Advent (දම්)


පින්තූරය ගත්තේ මෙතනින්
ජනවන්දනා වසර ආරම්භ වන්නේ සති 4 කින් සමන්විත වන මෙම ආගමන සමයෙනුයි. මෙම කාලයේ දක්නට ලැබෙන විශේෂ අංගයක් වන්නේ ඉටිපහන් 5 කින් සමන්විත වන ආගමන මල්කළඹ යි. සෑම සතියකම ඉටිපහන බැඟින් දල්වන අතර, මැද තිබෙන සුදු ඉටිපහන දල්වන්නේ නත්තල් දිනයේදී යි. 

මෙම කාලයේදී පියතුමා ගේ පූජා ඇඳුමේ වර්ණය වන්නේ දම් පැහැයයි. මෙම කාලය ජේසුස් වහන්සේ ගේ පැමිණීම සඳහා වන බලාපොරොත්තුවේ කාලයයි. ආගමන සමයේ තුන්වන ඉරුදින මෙම කාලයේ අඩක් ගෙවුණ බව හඟවන්න රෝස පැහැය භාවිතා කරනවා. රෝස පැහැයෙන් ප්‍රීතිය සංඛේතවත් කෙරෙන්නේ නත්තල සඳහා වන කාලයේ අඩක් ගෙවා නිම කර ඇති බව හැඟවීමටයි.


නත්තල් සමය - Christmas (සුදු)


පින්තූරය ගත්තේ මෙතනින්
මෙම කාලයේ ජේසුස් වහන්සේ ගේ උපත සිහි කරන අතර, ශුද්ධ වූ පවුලේ මංගල්‍යය, දේව මාතා මංගල්‍යය සහ රජතුන් කට්ටුවේ මංගල්‍යයන් ද මෙම කාලයේ සමරණු ලබනවා. මෙම කාලයේ දී දේවස්ථාන, නිවෙස්, නත්තල් සැරසිළි වලින් අලංකරණය වී ඇති බව දකින්න පුළුවන්. 

නත්තල සඳහා තෝරාගෙන තිබෙන්නේ සුදු පැහැයයි. ඒ වගේම සුදු පැහැයෙන් නව උපතක පිවිතුරු භාවය සංඛේතවත් කෙරෙනවා.


සාමාන්‍යය සමය - Ordinary Time (කොළ)


පින්තූරය ගත්තේ මෙතනින්
නත්තල් සමය සහ චතාරික සමය අතර කාලය තුළ දිව්‍ය පූජාවේ කියවීම් සඳහා යොදා ගන්නේ අපෝස්තුළු වරුන් තෝරා ගැනීම, ඉගැන්වීම්, සුවකිරීම් වැනි ජේසුස් වහන්සේ ගේ ප්‍රසිද්ධ ජීවිතයේ මුල් සිදුවීම්. අළු බදාදා ට පෙර දින අඟහරුවාදා අවසන් වන සාමාන්‍යය සමයේ පළමුවන කොටස නැවතත් පාස්කු සමයෙන් පසුව ඇරඹේ.

සාමාන්‍යය සමය වගාවේ සහ ඵල දැරීමේ කාලය වගේම තම තමාගේ විශ්වාසයේ ස්ථීර වීමේත් කාලයයි. කොළ පැහැය පරිසරයේ ජීවයේ පාටයි. මෙම ජීවයේ කාලය පුරාවටම ජේසුස් වහන්සේ ගේ ප්‍රසිද්ධ ජීවිතයේ සිදුවීම් දිව්‍ය පූජාව තුළ දී අසන්නට ලැබේ. 

සාමාන්‍යය සමයේ කොටස් 2 න් දිගම කොටස වන්නේ පාස්කු සමයෙන් පසුව ඇරඹෙන කොටසයි. එය ක්‍රිස්තු රාජ මංගල්‍යයත් සමඟ අවසන් වෙනවා. 


චතාරික සමය - Lent (දම්)


පින්තූරය ගත්තේ මෙතනින්
අළු බදාදායින් ඇරඹෙන චතාරික කාලය මහා බ්‍රහස්පතින්දා දක්වා දිව යනවා. දින 40 කින් සමන්විත චතාරිකය එක්වරු ශීලයේ සහ මර්ධන ක්‍රියාවේ කතෝලිකයන් නිරත වන කාලයක්. මෙම කාලයේ වර්ණය දම් පැහැය වන අතර කුරුසියේ පාදනමස්කාරය මෙම කාලයේ දැකිය හැකි විශේෂ අංගයක්. 

අළු බදාදා දිනයේ නළල මත අළු තවරා ගෙන කතෝලිකයන් තම පාප වලට මනස්ථාපනය වන ගමන් සිහි කරන්නේ පසින් සෑදුණු සැම දෙනෙක්ම නැවතත් පසටම හැරෙන බවයි.


ශුද්ධවූ සතිය - Holy Week


පින්තූරය ගත්තේ මෙතනින්
ශුද්ධවූ සතිය ආරම්භ වන්නේ ගොබ් ඉරුදිනෙනි. මෙම සතියේ ගොබ් ඉරුදින සහ මහා සිකුරාදා දින වර්ණය වන්නේ රතු පැහැය වන අතර මහා බ්‍රහස්පතින්දා සහ පාස්කු ඉරුදින (ආලේලූයා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව) වර්ණය වන්නේ සුදු පැහැයයි. 

මෙම සතිය තුළ ජේසුස් වහන්සේ ගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරනවා. 


පාස්කු සමය - Easter (සුදු/ රත්‍රන්)


පින්තූරය ගත්තේ මෙතනින්
දින 50 කින් සමන්විත වන පාස්කු සමය, ශුද්ධෝත්මාගමන (පෙන්තකෝස්ත) මංගල්‍යයත් සමඟ අවසන් වනවා. ඒ වගේම ජේසුස් වහන්සේ ගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය පාස්කු ඉරුදින සිට දින 40 ක් ගත වූ තැන සමරණවා. 

කතෝලික ජනවන්දනා වසරේ විශේෂිතම කාලය වන මෙම කාලය තුළ උත්ථානයෙන් පසු ජේසුස් වහන්සේ ගේ ඉගැන්වීම් පිළිබඳව අවධානය යොමු කරනවා. මෙම කාලයේ වර්ණය ලෙස සුදු හෝ රත්‍රන් පැහැය යොදා ගන්නවා.

පාස්කු සමය අවසන් කරන පෙන්තකෝස්ත මංගල දින වර්ණය වන්නේ රතු පැහැයයි. මෙම පෙන්තකෝස්ත මංගල දිනයට පසුව සාමාන්‍යය සමයේ දෙවන කොටස ආරම්භ කෙරෙනවා.


මූලාශ්‍ර:

  • http://cyberfaith.com/liturgical_year.cfm 
  • http://en.wikipedia.org/wiki/Liturgical_year

12 comments:

  1. ගිහාන් මේ කියන්නේ සාමාන්‍ය මිනිස්සු මේ කාලවලදී අඳින පාට ගැනද? පියතුමන්ලා අඳින පාටවල් ගැනද?

    //අළු බදාදා දිනයේ නළල මත අළු තවරා ගෙන කතෝලිකයන් තම පාප වලට මනස්ථාපනය වන ගමන් සිහි කරන්නේ පසින් සෑදුණු සැම දෙනෙක්ම නැවතත් පසටම හැරෙන බවයි.//

    හින්දු ආගමිකයනුත් නළලේ විභූති තවරන්නේ මේ හේතුව හින්දලු.

    ReplyDelete
    Replies
    1. මේ කතා කරන්නේ පියතුමා අඳින පාට ගැනයි.

      හින්දු ආගමීකයන් ගේ කතාව මම දැනගෙන හිටියේ නෑ. ස්තූතියි.

      Delete
  2. ජනවන්දනා වසර කියන්නෙ මේ වසරටද ? නැත්නම් හැම අවුරුද්දෙම එන එකක්ද ?

    මේකට අදාල නැති ප්‍රශ්නයක් අහන්නම්.

    යෙහෝවාගේ සාක්ශිකාරයො ගැන මොකද හිතන්නෙ ? අපේ ඔෆිස් එකේ පොරක් ඒකට බැහැලා වැඩ. මටත් නිතරමා ආරාධනා කරනවා ඇවිත් බලන්නලු ඒ ගොල්ලො කරන දේවල්. එයාලා කතෝලික ආගමේ තියන වත් පිළිවෙත් සියල්ල බැහැර කරලා කියලා තමා මට තේරුනෙ. අඩුම තරමින් නත්තල්වත් සමරන්නෑලු. පූජකවරු, ප්‍රධානියො, කවුරුවත් නැහැල්ලු. අඩුම ගානෙ පූජාවක්වත් නෑ. එකතු වෙලා බයිබලේ ස්ටඩි කරනවා විතරලු. ඔය වගේ සභා ගැන කතෝලික සභාවෙ ක්‍රියා පිළිවෙත මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. කතෝලික අවුරුද්දට කියන්නේ ජනවන්දනා වසර කියලා. ඒක හැම අවුරුද්දෙම එන එකක්. ගිය ඉරිදා තමා 2013/2014 ජනවන්දනා වසර පටන් ගත්තේ.

      යෙහෝවාගේ සාක්ශිකාරයෝ කියන්නේ 1872 Charles Taze Russell විසින් ආරම්භ කරපු කණ්ඩායමක්. මේ කට්ටිය කරන්නේ ඒ ගොල්ලන්ගේම බයිබලයකින් යම්කිසි කොටසක් වචනාර්ථයෙන් පැහැදිළි කරන එක. සාමාන්‍යයෙන් බයිබලය හදාරද්දී ඒ ලියලා තියෙන දේ වචනාර්ථයෙන් අරන් බෑ, ඒකට අපි ඒ කතුතුමා මොන පරිසරයක, මොන ජන කොටසකටද, මොන භාෂාවෙන්ද මේ දේ ලිව්වේ කියලා තේරුම් ගන්න ඕනා. අනික් එක ඒ ගොල්ලෝ හැම බයිබල් කොටසක් ගැනම කතා කරන්නේත් නෑ. ඒ ගොල්ලන්ට අත් පොතක් තියනවා ඔය ගෙවල් ගානේ ගිහිල්ලා කොහොමද කතා කරන්න ඕනා කියලා. ඉතින් ඒ තියන දේවල් තමා ඒ අය වැඩියෙන් කතා කරන්නේ. හැබැයි අපි හොඳට ලෑස්ති වෙලා වෙන එකක් ගැන කතා කලොත්, ඒ කට්ටියට උත්තරත් නැතිව යනවා.

      ඒ කට්ටිය කියන එකක් තමා ස්වර්ගයට යන්නේ 144,000 ක පිරිසක් කියලා. මේක මේ අය බයිබලයේ අන්තීම පොත වන එළිදරව්ව පොතේ 7 වන සහ 14 වන පරිච්ඡේද වලින් අරන් තියන එකක්. හැබැයි මේක එහෙම්මම වචනාර්ථයෙන් ගත්තොත් මේ 144,000 දෙනාම ජුදා බඹසර රැකගත් පිරිමි (virgin males). ඉතින් මෙහෙම බැලුවොත් මරිය තුමියටවත් (පිරිමියෙක් නොවන නිසා), පේදුරු තුමාටවත් (විවාහක නිසා), යෙහෝවා ගේ සාක්ශිකාරයන් ගේ ආරම්භකයා වන Charles Taze Russell ටත් (ජුදා ජාතිකයෙක් නොවන නිසා) ස්වර්ගයට යන්න බෑ.

      මේ අය ජේසුස් වහන්සේව දේවත්වයෙන් සළකන්නේ නෑ.

      කතෝලික සභාවෙන් මේ වගේ දේවල් වලට වැඩියේ ක්‍රියාමාර්ග ගන්නේ නෑ. මොකද මේවා ගොඩාක් පටන් අරන් තියෙන්නේ එක පුද්ගලයෙක් ගේ අදහසකට, ඉතින් කාලයක් යද්දී මේ අයට සත්‍යය වැටහෙයි. මේ දේ පේනවා මේ දවස් වල නැවතත් කතෝලික දහම වැළඳ ගන්න ඇන්ග්ලිකානු කට්ටියව දකිද්දී. ඇන්ග්ලිකානු පියතුමන් ලා, රදගුරුවරුන් පවා මේ විදිහට ඇවිත් තියනවා. මට මේ විදිහට ආපු ඇන්ග්ලිකානු රදගුරු තුමෙක්ව හමුවුණා. ඔහු දැන් කතෝලික පියතුමෙක්. මම ඇහැව්වා රදගුරු තුමෙක් හැටියට ඉඳලා දැන් සාමාන්‍යය පියතුමෙක් හැටියට ඉද්දී මොකද හිතෙන්නේ කියලා. එතකොට එයා කිව්වා සේරටම වැඩිය පහුවෙලා හරි සත්‍යය වැටහීම ගැන සතුටු වෙනවා කියලා.

      මම හොයලා බලන්නම් ඔයාට කියවන්න ලිපි ටිකක්.

      Delete
    2. http://catholiceducation.org/articles/religion/re0241.html

      http://catholiceducation.org/articles/apologetics/ap0015.html

      http://www.catholiceducation.org/articles/apologetics/ap0302.htm

      Delete
    3. බොහොම ස්තූතියි සහෝදරතුමා. මටත් තේරුනා ඒ ගොල්ලො ගොඩක් වචන එක්ක එල්ලිලා ඒවායෙන් හරඹ කරන කට්ටියක් කියලා. මම එයාගෙන් ඇහුවා පොඩි ප්‍රශ්නයක් "ඇයි ඕගොල්ලො දෙවියන් වහන්සේ නොකියා දෙවි කියන්නෙ කියලා."හේතු තුනක් දුන්නා.

      1. ඉන්ග්‍රීසියෙන් නිකන්ම god කියලලු කියන්නෙ. ඉතින් අපි මොකටද වහන්සේ කියන්නෙ කියලා.
      2. වහන්සේ කියන්නෙ බුද්ධාගමෙන් ණයට ගත්තු වචනයක්ලු. අපි මොකටද බුද්ධාගමේ වචන පාවිච්චි කරන්නෙ කියලා ඇහුවා.
      3. වහන්සේ කියන්නෙ වහන් වලට සේවය කරන එකලු.

      අනුකම්පාකළ යුතුයි කියලා හිතලා මම නිහඬ වුනා.

      සබැඳි වලට ස්තූතියි. හිමීට කියවලා බලන්නම්.

      Delete
    4. //අනුකම්පාකළ යුතුයි කියලා හිතලා මම නිහඬ වුනා.//

      මෙන්න මේක තමා වෙන්න ඕනා.

      Delete
  3. ස්වර්ගයට යන 1144,000 යි , ජුදා පිරිමි අතර සමිබන්ධය පැහැදිලි කරන්න පුලුවන්ද ප්ලීස් ?

    ReplyDelete
    Replies
    1. මෙය 144,000 ක් විය යුතුයි. එළිදරව්ව 7: 5-8 ට අනුව මෙම 144,000 හැදෙන්නේ ජුදා ගෝත්‍ර 12න් 12,000 බැගින්. ඒ වගේම මේ සියළු දෙනාම ජුදා බඹසර රැකගත් පිරිමි (virgin males).

      Delete
  4. ස්වර්ගයට යන 1144,000 යි , ජුදා පිරිමි අතර සමිබන්ධය පැහැදිලි කරන්න පුලුවන්ද ප්ලීස් ?

    ReplyDelete
  5. ගරු පියතුමෙනි මෙම වෙබ් අඩවියේ අපට ඉගෙනගන්න නව ලිපි පල කරන්න

    ReplyDelete
  6. පාස්කු ඉරිදා හැම අවුරුද්දෙම එකම දවසක වැටෙන්නෙ නැත්තෙ ඇයි? කොහොමද ඒක තීරනය කරන්නෙ?

    ReplyDelete