Showing posts with label පියතුමා. Show all posts
Showing posts with label පියතුමා. Show all posts

Monday, 27 May 2013

හතලිස්දෙදාහේ ඡායාරූප ශිල්පියා



අද කතා කරන්න යන්නේ කතෝලික පියතුමෙක් ගැනයි. හැබැයි ටිකක් විතර වෙනස් කතාවක්. මේ ලිපිය ලියන්න කටයුතු සැළසුණෙත් හරි අහම්බෙන්.

දවසක් කුරුන්දේ පරණ ලිපි කියවගෙන යන ගමන් මේ ලිපියට ගොඩවුණා. ඒ ලිපිය කියවද්දී මෙන්න මෙතනට යන්න පාරක් දීලා තිබ්බා. ඉතින් ඒ පාර දිගේ යද්දී තිබ්බේ කුරුන්දේ සෙන්නා ට, විදෙස් සිත්තරා ගහපු පොඩි මඩ පාරක් තියන (තව අතකින් ප්‍රචාරයක් දීපූ) කාටුන් එකක්. ඉතින් ඒ කාටුන් එකට පාදක වෙච්ච සබැඳියත් අතන දාලා තිබ්බා. ඒ සබැඳිය හරහා ආයේ ආවා කුරුන්දට. මොනවා ගැනද දන්නවද කුරුන්දේ ලියලා තිබ්බේ? ඒකෙ තිබ්බේ අර 1900 බර ගණන් වල අයිස් පරයක හැප්පිලා ගිලුණ ටයිටැනික් නැව ගැන. ඔව් ඔව් ඒ අර ජැක්, රෝස් දෙන්නා හිටියේ; හැබැයි මේකේ තිබ්බේ ඒ දෙන්නා ගැන නෙමේ, නැවේ ඉතිහාස කතාවයි. 1912 අප්‍රේල් 15 මේ ප්‍රසිද්ධ නැව, ඒ අප්‍රසිද්ධ අයිස් පරයේ හැප්පිලා ගිලෙද්දී මුහුදු පතුලට අරගෙන ගියේ ඒකේ ගමන් කරපු මඟීන් විතරක් නෙමේ, ඒ මඟීන් නැව තුළ ගත කරපු ජීවිත රටාවත් එක්කයි. හැබැයි ඔය නැවේ ගමන් කරපු එක මඟියෙක් හින්දා, එදා ඒ මඟීන් ගත කරපු ජීවිත රටාව අද වුනත් අපිට දැකගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ මඟියා තමා ජේසු නිකායික ෆ්‍රැන්සිස් බ්‍රවුන් (Francis Browne) පියතුමා යි. අද කවුළු පියන්පතෙන් එහා ඔබට දකින්න ලැබෙන්නේ මේ පියතුමා ගේ කතාවයි.

1880 ජනවාරි 3 වන දින අයර්ලන්තේ කෝක් (Cork) නඟරයේ උපත ලද ෆ්‍රැන්සිස්, ජේම්ස් (James) සහ බ්‍රිජිඩ් (Brigid) යුවලට දාව උපන් දරුවන් 8 දෙනා ගෙන් බාලයායි. 1989 සැප්තැම්බර් 2 වන දින තම පියා ගේ මරණින් පසු කුඩා ෆ්‍රැන්සිස් ව හදා වඩා ගන්නේ ඔහුගේ බාප්පා වන රදගුරු රොබට් බ්‍රවුන් (Robert Browne, Bishop of Cloyne). ඔහුට තම පළමු කැමරාව ලබා දෙන්නේ ද මේ බාප්පායි. 

සාන්ත වින්සන්ට් කාසල්නොක් පාසලෙන් (St. Vincent's Castleknock College) උපාධි ලබන ෆ්‍රැන්සිස් යුරෝපයේ සංචාරයක නියැලෙනවා. ඔහුගේ බාප්පා කැමරාව ලබාදෙන්නේ මේ සංචාරයට පෙරාතුවයි. මෙම යුරෝපා සංචාරය තමාගේ 42,000 ක් පමණ වන ඡායාරූප එකතුවේ මූලාරම්භය බවට ෆ්‍රැන්සිස් පත්කර ගන්නවා.

නැවත අයර්ලන්තෙට පැමිණෙන ඔහු ජේසු නිකායට බැඳී පූජක පුහුණුව ලබනවා. මේ අතර 1912 අප්‍රේල් මාසයේ දී ඔහුගේ බාප්පාගෙන් විශේෂ තෑග්ගක් ලැබෙනවා, ඒ RMS Titanic නෞකාවේ මංගල ගමනට (එංගලන්තේ සදම්ටන් වරායේ සිට අයර්ලන්තේ ක්වීන්ස්ටවුන් දක්වා) සහභාගි වීමට ප්‍රථම පන්තියේ ප්‍රවේශ පත්‍රයක්.

1912 අප්‍රේල් 10 වන දින පස්වරුවේ නැවට ගොඩවෙන ෆ්‍රැන්සිස් ට ලැබෙන්නේ Promenade Deck හෙවත් සක්මන් තට්ටුවේ A37 කාමරයයි. නැවට ගොඩවූ වෙලේ පටන් ෆ්‍රැන්සිස් තමාගේ රාජකාරිය, එනම් ඡායාරූප ගැනීම පටන් ගත්තා. ඡායාරූපකරණය ඔහුගේ විනෝදාංශය වගේම ජීවිතයේ කොටසක් වෙලයි තිබ්බේ. 
ඔහුගේ තෙවෙනි ඇසට අසුවූ ප්‍රදේශ අතර ව්‍යායාම ශාලාව, මාර්කෝනි කාමරය, ප්‍රථම පංතියේ භෝජන ශාලාව, ඔහුගේ කාමරය සහ නැවේ සක්මන් තට්ටු වැනි ප්‍රදේශ වුණා. අවසාන වශයෙන් කැමරාවක සටහන් වුණ පුද්ගලයන් අතර කපිතාන් ස්මිත් (Captain Edward J. Smith), ව්‍යායාම් උපදේශක මැක්කොවුලි (T. W. McCawley), විදුලි ඉංජිනේරු විලියම් පාර් (William Paar), මේජර් බට් (Major Archibaald Butt) වැනි පුද්ගලයන් ද, නාමිකව නොදන්නා තෙවැනි පංතියේ මඟීන් කිහිප දෙනෙක් ද ඇතුලත්. 
සදම්ටන් වරාය බලා යාමට දුම්රිය ස්ථානයේ


දුම්රිය ගමන

සදම්ටන් වරායේ ආසන්න අනතුර 

සදම්ටන් වරායේ අනතුර වළක්වන කුඩා යාත්‍රා

සදම්ටන් වරායේ අනතුර - New York නැව Titanic වෙතින් අහකට තල්ලු කරමින්

සදම්ටන් වරායට රොක්වූ පිරිස්
ඔහුගේ කාමරය
ව්‍යායාම් ශාලාව - සිටින්නේ ව්‍යායාම් උපදේශක මැක්කොවුලි (T. W. McCawley), විදුලි ඉංජිනේරු විලියම් පාර් (William Paar)
කියවීම් ශාලාව
මාර්කෝනි කාමරය
ඈතින් සිටින්නේ මේජර් බට් (Major Archibaald Butt)

ප්‍රථම පංතියේ කෑම ශාලාව
ඔහුට ලැබුන නැවේ සැලැස්ම
නැවට තැපැල් මලු පටවමින්
නැවේ බඳේ සවිකර තිබූ ඝන යකඩ තහඩු

දිනක් ෆ්‍රැන්සිස් සමඟ එක මේසයේ ආහාර ගනිමින් සිටි පොහොසත් ඇමරිකානු යුවලක්, ඔහු සමඟ මිත්‍ර වී ඇමරිකාව දක්වාම යාමට සියළු වියදම් දැරීමට එකඟ වී තිබෙනවා. ෆ්‍රැන්සිස් මේ සඳහා අවසර පතා තම ප්‍රාදේශාධිපති පියතුමාට ටෙලෙග්‍රාෆ් පණිවිඩයක් යවනවා. හැරෙන තැපෑලෙන් ඔහුට ලැබෙන පිළිතුර වන්නේ "GET OFF THAT SHIP - PROVINCIAL" (නැවෙන් බහින්න - ප්‍රාදේශාධිපති). මෙම අවසරය ප්‍රතික්ෂේප කිරීම ඔහුගේ ජීවිතය ආරක්ෂා වීම පමණක් නොව, ටයිටැනික් නැව තුළ මඟීන් ගතකළ ජීවිතය ගැන වැටහීමක් ලබාගැනීමේ අවස්ථාව ද ආරක්ෂා වුණා. 

අප්‍රේල් 11 වන දින අයර්ලන්තේ ක්වින්ස්ටවුන් වරායේ දී නැවෙන් බැසයන ෆ්‍රැන්සිස් තමාගේ දේවධර්ම අධ්‍යයන කටයුතු  සඳහා ඩබ්ලින් බලා පිටත් වෙනවා. ටයිටැනික් නැවේ අවසාන ඡායාරූපය ගනු ලබන්නේ මෙසේ ඔහු ටයිටැනික් නැවේ සිට America නමැති කුඩා යාත්‍රාවෙන් ක්වින්ස්ටවුන් වරායට පිටත් වන විටයි. නැවේ මුහුදුබත් වීම ආරංචි වීමත් සමඟ තමාගේ ඡායාරූප බොහෝ ප්‍රයෝජනවත් විය හැකි බව ඔහුට වැටහෙනවා. මෙසේ ඔහුගේ ඡායාරූප පුවත්පත්, සඟරා වල පළවෙන අතර ප්‍රතිච්ඡායා (negatives) සියල්ලම තමා ලඟ තබා ගන්නවා.

ක්වින්ස්ටන් වරායෙන් ඔහුත් සමඟ නැවෙන් බැස ගිය පිරිස
නැවේ අවසන් ඡායාරූපය
1915 ජූලි 31 දින පූජක වරම් ලබන ෆ්‍රැන්සිස්ව අයර්ලන්ත හමුදාවේ උපාධ්‍ය පියතුමා හැටියට යුරෝපයට යවනවා. 1920 දක්වා මෙසේ ඉන්න ෆ්‍රැන්සිස් පියතුමා පස් වතාවකදී යුද්ධය අතරතුර තුවාල ලබනවා. මෙයින් එක් අවස්ථාවක බරපතල විදිහට තුවාල ලබන්නේ ගෑස් ප්‍රහාරයකට අසුවීමෙනුයි. මෙසේ ඉන්න අතරතුර ද ඔහු තමාගේ විනෝදාංශය අතහැරියේ නෑ. ඔහුගේ කැමරා කාචයට හසුවුණ යුධ ඡායාරූප ප්‍රමාණය ද අති විශාලයි. 

යුද්ධයෙන් පසු නැවතත් අයර්ලන්තයට පැමිණි ෆ්‍රැන්සිස් පියතුමාව ඩබ්ලින් (Dublin) නුවර ගඩිනර් වීදිය දේවස්ථානයේ (Gardiner Street Church) ප්‍රධානියා ලෙස 1922 දී පත් කරනවා. 1924 දී ඔහුව ඔස්ට්‍රේලියාවට යවන අතර, ඒ යන අතරතුර නාවික ගමනේ ද,  ඔස්ට්‍රේලියාවේ ද ඡායාරූප ඔහුගේ ඡායාරූප ගොන්නට එක්වෙනවා. නැවත අයර්ලන්තය බලා එන  අතරතුර ඔහු ලංකාව (Ceylon), ආදන් (Aden), සුඑස් (Suez), සලෝනිකි (Saloniki), නාපෝලි (Naples), ටූලෝන් (Toulon), ගිබ්‍රල්තාර් (Gibraltar), අල්ජෙසිරාස් (Algeciras) සහ ලිස්බන් (Lisbon) දැක බලාගන්නා අතර, ඒ ඒ ප්‍රදේශ වල ජන ජීවිතය, නාවික තොටේ ක්‍රියාකාරකම් ඔහුගේ කැමරාවේ සටහන් වෙනවා. සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු ඡායාරූප 42,000 කට වඩා ලබාගෙන ඇති බවයි. 

1960 වසරේ ඩබ්ලින් නුවර දී මිය යන ෆ්‍රැන්සිස් පියතුමා ගේ සිරුර ග්ලස්නෙවින් සුසාන භූමියේ (Glasnevin Cemetery) භූමදාන කරනවා. ඔහුගේ මරණින් වසර 25 ක් යනතුරු ඔහුගේ ප්‍රතිච්ඡායා (negatives) එකතුව සියළු දෙනාගෙන්ම වසන්ව පවතිනවා. නමුත් 1986 වසරේ දී මේ සියල්ල අහම්බෙන් එඩ්වර්ඩ් පියතුමාට (Fr. Edward E. O'Donnell, SJ) හමුවීමත් සමඟ මේ ඡායාරූප එකතුව නැවතත් සමාජයට දැකගන්න ලැබෙනවා.
ජේසු නිකායේ අයර්ලන්ත ප්‍රාදේශිකය මේ ඡායාරූප ප්‍රතිච්ඡායා එකතුව සංරක්ෂණය කරන්නට පියවර ගන්නවා. එලෙස ඔවුන් මේ කාර්‍ය්ය ඡායාරූප සංරක්ෂණ විශේෂඥයින් වන ඩේවිඩ් සහ එඩ්වින් දෙපළට (David and Edwin Davison) භාර දෙනවා. ඔවුන් සෑම ප්‍රතිච්ඡායාවක්ම පිඅපත් කර, සංඛ්‍යාංක පිටපත් ද (digital copies) මතු පරම්පරා වලට ප්‍රයෝජනයට ගැනීමට ලබා ගන්නවා.

ටයිටැනික් නැවේ 100 වැනි සංවත්සරයට අයර්ලන්තයේ තැපැල් දෙපාර්තමේන්තුව 2012 අප්‍රේල් මාසයේ දී ෆ්‍රැන්සිස් පියතුමා ගේ රුව රැගත් මුද්දරයක් නිකුත් කරනවා.

ප.ලි.: මෙයට අමතරව වැඩිපුර ඡායාරූප බැලීමට මෙතනින් යන්න. සියළුම ඡායාරූප ගනු ලැබුවේ http://www.fatherbrowne.com/ ලිපිනයෙන් වන අතර, ඒවා උපයෝගි කොටගෙන ඇත්තේ අධ්‍යාපණික කටයුත්තකට පමණක් බවද සළකන්න.

විභාග කටයුතු නිසා මාසයක් බ්ලොග් ලෝකයෙන් ඈත්වී සිටීමට සිදුවන බව ද කරුණාවෙන් සළකන්න.

මූලාශ්‍ර:

Saturday, 20 April 2013

කතෝලික පියතුමකු වන්නේ කොහොමද?

අද කතා කරන්න යන්නේ කොහොමද කතෝලික සභාවේ පියතුමකු වෙන්නේ සහ ඒ සඳහා සූදානම් වන ආකාරය ගැනයි.

මේ ලිපිය ලියන්න අරගෙන මාසෙකටත් වැඩියි. පාප් වහන්සේ ගැන කළින් පළ කරපු ලිපිය ලියන්න වුන හින්දා මේ ලිපියට පොඩි විවේකයක් දෙන්න වුණා. ඊට පස්සේ විභාග වගේම එක එක වැඩ හින්දා තවත් පරක්කු වුණා. කොහොම හරි දැන් මේක පළ කරන්න සුදුසුම විදිහට පරිසරය සැකසිලා තියෙනවා. ඒ තමා අප්‍රේල් 20 වන සෙනසුරාදා උදෑසන 9 ට කොළඹ කොටහේනේ සාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ පැවැත්වෙන පූජාත්වර දානයේ දේව මෙහෙය. එදින කතෝලික සභාවට නවක පියවරු 12 දෙනෙක් එක්වෙනවා. ඒ සියළුම දෙනාට සුභ පැතුම් සමඟයි මේ ලිපිය.


මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වන්නේ පදවි පූජකයකු වෙන ආකාරයයි, විශේෂයෙන්ම කොළඹ අගරදගුරු පදවිය කේන්ද්‍ර කරගෙනයි. ශ්‍රී ලංකාව තුළ රදගුරු පදවි 12 ක් පවතිනවා. මේ සෑම පදවියකටම අයත් ඒ ඒ පදවියේ වැඩ කටයුතු කරන පූජකවරු සිටිනවා.

ශ්‍රී ලංකාවේ රදගුරු පදවි


මුලින්ම කියන්න ඕනා, බොහෝ විට කතෝලික පියතුමකු වීමට ආශාව ඇතිවන්නේ දිව්‍ය පූජාවට උදව් වීමෙනුයි. මොකද, මේ පූජා සහයක දරුවන් සෑම විටම දිව්‍ය පූජාවට සහභාගි වෙමින්, ඒ මෙහෙයට හවුල් වන නිසා.

මෙම ආශාව ඇතිවීමෙන් පසු, ඇත්තටම තමාට කතෝලික පියතුමකු වීමට අවශ්‍යයම දැයි දෙමව්පියන් ගේ සහ මීසම් සේවක පියතුමා ගේ උදව් ඇතිව දැන ගත යුතුයි. මේ සඳහා හොඳ යාච්ඤාශීලි ජීවිතයක් ද ගත කළ යුතු වෙනවා.

මෙසේ ඔබ, ඔබේ ස්ව කැමැත්තෙන් තීරණය කිරීමෙන් පසු, ඔබ වයස අවුරුදු 14 හෝ ඊට වැඩිනම් මීසම් සේව්ක පියතුමා සමඟ කතා කර ඔහුගේ මාර්ගයෙන් පුංචි දෙව්සත්හලට ඇතුලත් වීමට අයදුම් පත්‍රය යොමු කරන්න පුළුවන්.

අයදුම් පත යොමු කිරීමෙන් දින කිහිපයකින් පසු ඔබට සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයක් ලැබෙන අතර මෙම සම්මුඛ් පරීක්ෂණය අදියර කිහිපයකින් සමන්විත වෙනවා.

  • පදවියේ රදගුරුතුමාව හමුවීම
  • කුඩා දෙව්සත්හලේ අදියුරුපියතුමාව හමුවීම
  • ලිඛිත පරීක්ෂණය
  • වෛද්‍ය පරීක්ෂණය


ඔබ මෙම සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූයේ නම් ඔබට කුඩා දෙව්සත්හලට ඇතුලත් වීමට අවස්ථාව ලැබෙනවා.

කුඩා දෙව්සත්හල (Minor Seminary)

බොරැල්ලේ ඇති කොළඹ පදවියේ කුඩා දෙව්සත්හල


ඔබට ලබාදෙන දිනයක, අවශ්‍ය බඩු බාහිරාදිය ද රැගෙන ඔබේ දෙමව්පියන් සමඟ කුඩා දෙව්සත්හලට පැමිණීමට සිදුවෙනවා. මෙතැන් පටන් ඔබේ නිවස වගේම පාසල බවට පත්වන්නේ මෙම කුඩා දෙව්සත්හලයි.

මම, මෙහි පාසල බවට ද පත්වෙනවා කිව්වේ, මෙම කුඩා දෙව්සත්හල තුළ 9 වසරේ සිට උසස් පෙළ දක්වා ඉගෙනීමට කටයුතු සළසා ඇති බැවිනි. මෙසේ අ.පො.ස. සා/පෙළ සහ අ.පො.ස. උ/පෙළ සඳහා ඉගෙන ගන්නා අතර, කතෝලික දහම පිළිබඳව මූලික ඉගැන්වීම් ද, ඉංග්‍රීසි භාෂාව සහ දෙමළ භාෂාව ද ඉගැන්වෙනවා. (දේව කැදවීම් අඩු  රදගුරු පදවි වල දෙව්සත්හල තුළම පාසල නොමැති අතර, එම පදවි දෙව්සත්හල් දරුවන් අසල පාසල් වලට ගොස් අධ්‍යාපනය ලබනවා.)

මෙම කුඩා දෙව්සත්හල තුළ ආගමීක (අධ්‍යාත්මික) සහ අධ්‍යාපනික දැනුමට අමතරව විශය බාහිර ක්‍රියාකාරකම් ද, ක්‍රීඩා කටයුතු සඳහා ද අවස්ථාව ලැබෙනවා. මෙසේ ගායනය, වාදනය ඉගෙන ගැනීමට ද, තමාගේ හැකියාව පෙන්වීමට ගායන, වාදන, කථික, රචනා තරඟ ද, තමාගේ ක්‍රීඩා කුසලතා සඳහා වාර්ශීක ක්‍රීඩා උත්සවයද ඔබට ලැබෙන අවස්ථාවන් වෙනවා.

නාට්‍යයක අවස්ථාවක්


අතරමැදි/ ප්‍රාරම්භක දෙව්සත්හල (Intermediate/ Propaedeutic Seminary)



කුඩා දෙව්සත්හලේ දී උ/පෙළ සමත්වන ඔබට, කතෝලික පූජකයකු වීමට ඉදිරියට යාමට තවත් විභාගයකට මුහුණදෙන්න සිදුවෙනවා. මෙය ඉංග්‍රීසි භාෂාව පිළිබඳව වාචිකව සහ ලිඛිතව පැවැත්වෙන ජාතික දෙව්සත්හලට ඇතුලත්වීමේ විභාගයයි (National Seminary Entrance Examination/ NSE Exam). මෙම විභාගයෙන් සමත්වන අයට කලුතර පිහිටි අතරමැදි/ ප්‍රාරම්භක දෙව්සත්හල ට ඇතුලත් වීමට අවස්ථාව ලැබෙනවා. අනෙක් රදගුරු පදවි වලින් ද පැමිණෙන මෙම දෙව්සත්හලේ ප්‍රධාන තේමාව වන්නේ යාච්ඤාව සහ වැඩ කිරීමයි (Pray and Work). කලු ගඟ අසල දර්ශනීය ස්ථානයක පිහිටි මෙම දෙව්සත්හලේ යාච්ඤාවට යෝග්‍ය පරිසරයක් තිබෙනවා. දෙව්සත්හල සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සෑම කෙනෙකුගේම වගකීමක් වෙනවා.

කලුතර දෙව්සත්හලේ තිබෙන  අංගයන් අතර ප්‍රධාන වගේම සිත්ගන්නා අංගයක් වන්නේ කඳවුරු යෑමයි. සතියක පමණ කාලයක් මෙම කඳවුරු භූමියේ සිටින්න වෙනවා. කඳවුරට යන ගමනේ පටන් නැවත එනතුරු සියළු දෙයම පරීක්ෂණයට භාජනය වෙන අතර ඒ සැම අංගයකින්ම තම කණ්ඩායමට ලකුණු රැස් කරගන්න පුළුවන්. බොහෝ විට මේ සෑම අංගයක්ම කණ්ඩායමටම පොදු වෙනවා. මේවා අතර කිලෝමීටර 15ක් 20ක් පමණ කඳවුරු භූමියට පැමිණීම, කූඩාරම් සෑදීම, කෑම ඉවීම, නොයෙක් ක්‍රීඩා අංග ප්‍රධාන තැනක් ගන්නවා.


කඳවුරු බිමේ


වසරක පමණ කාලයක් කලුතර ගත කරන්නට සිදුවන අතර, ඉන්පසු පූජක පුහුණු දිවියේ අවසාන අදියර කිහිපය සඳහා නුවර, අම්පිටිය ලංකා අප ස්වාමි දූ ජාතික දෙව්සත්හල කරා යන්නට සිදුවනවා.

ජාතික දෙව්සත්හල (National Seminary)

දර්ශන පීඨය
දේවධර්ම පීඨය


අම්පිටියේ මුල් වසර දෙක ගෙවෙන්නේ දර්ශන විද්‍යාව ඉගෙන ගැනීමට සඳහායි. (දැන් මෙය වසර 3ක් දක්වා දීර්ඝ කර ඇත.) ඉන්පසුව දෙව්සත්හල් ජීවිතයේ අවසාන වසර හතර ගෙවෙන්නේ දේව ධර්මය හැදෑරීමටයි.

දේවධර්ම පීඨයේ දේවස්ථානය ඇතුලත


මෙම දෙව්සත්හලේ ද විශය බාහිර ක්‍රියාකාරකම් සඳහා තැනක් ලබා දෙනවා. ඒ අතර වාර්ශීක ක්‍රීඩා උත්සවය, සංස්කෘතික උළෙල සහ ඊට සමගාමි තරඟ, නාට්‍ය තරඟ ප්‍රධාන තැනක් ගන්නවා.

දෙව්සත්හල් ජීවිතයේ අවසාන වසර හතර ආරම්භයේ දී, එනම් දේව ධර්මය පළමු වසරේ දී සියළුම සහෝදරතුමන්ලාට දෙව්සත්හලේ පවත්වන විශේෂ දේව මෙහෙයක දී නිල වශයෙන් ලෝගුව පැළඳීමට අවසර ලැබෙනවා. එසේම මෙම දේව ධර්මය හදාරන සහෝදරතුමන්ලා නත්තලට සහ පාස්කුවට විවිධ මීසම් වල පියතුමන්ලා ගේ සහයට යන අතර අම්පිටියේ සිටින කොළඹ පදවියේ සහෝදරවරුන් අගෝස්තු නිවාඩුවේදී පදවිය සතු වත්තක වැඩවලට සහය වීමට ද යනවා.

වතු වැඩ (වැටකට කනු සිටුවන්න යමින්)


අධ්‍යාත්මික, අධ්‍යාපනික, සමාජීය සහ ධර්මදූත පුහුණුවකින් පසු එනම් සතර වන වසර දේවධර්මය අවසන් කිරීමෙන් පසු තම කැඳවීම පිළිබඳව ස්ථීර තීරණයකට එළඹීමෙන් පසු තේවාචාර්‍යවරය ලැබෙන අතර, ඉන්පසු එම තේවාචාර්‍යවරුන් මීසම් හී සේවයට යවනු ලබනවා.

මෙසේ මීසම් වල සේවය කිරීමෙන් ද අත්දැකීම් ලබාගන්නා තේවාචාර්‍යවරුන්ට තම තමුන් ගේ පදවි වලදී, තමන්ගේ රදගුරුතුමා අතින් මෙතරම් කාලයක් බලාපොරොත්තුවෙන් සිටි, මෙතරම් කාලයක් පුහුණුවීම් ලැබූ පූජක වරම් ලැබෙනවා. බොහෝ විට මෙම පූජාත්වර දේව මෙහෙය පදවියේ ආසන දෙව්මැදුරේ දී යි පවත්වනු ලබන්නේ. මෙසේ පූජක වරම් ලැබූ නවක පියතුමා පසුදින තම ගමේ දේවස්ථානයේ දී තමාගේ කුළුඳුල් දිව්‍ය යාගය පවත්වනවා.