Showing posts with label කතෝලික. Show all posts
Showing posts with label කතෝලික. Show all posts

Thursday, 19 December 2013

නත්තල ආශ්‍රිත සංකේත හා විශේෂාංග

අද කතා කරන්න යන්නේ (ඇත්තටම මේක ලිව්වේ 2009 වසරේ, ඥානාර්ථ පුවත්පතේ පලවුණේ 2010 නත්තලට) නත්තල් සමයේ අපිට දකින්න ලැබෙන්න සංකේත සහ විශේෂාංග කිහිපයක් ගැනයි.  

නත්තල යනු විශ්ව මංගල්‍යයකි. ලොව පුරා කිතුණු බැතිමත්හූ ඉතා උත්කර්ෂවත් ලෙස මෙම මංගල්‍යය සමරති. වර්තමානයේදී නත්තල කිතුණු සංස්කෘතියේ හා අනෙකුන් සංස්කෘතීන්ගේ සම්මිශ්‍රණයක්ව පවතී. එමනිසා නත්තල් සමයේ භාවිතා වන නත්තල් සැරසිලි වලින් සමහරක වර්තමානයේ පවතින අරුත එහි ආරම්භක අරුතට සම්පූර්ණයෙන්ම පටහැනි අරුතක් ගෙන දෙයි. මා මෙහි උත්සාහ ගන්නේ මෙම සැරසිලි හා සංකේතයන්ගේ සමහරක ආරම්භය හා අරුත පිළිබඳ විග්‍රහයක යෙදීමටයි.


නත්තල් සීයා




නත්තල් සමයේදී නත්තල් සීයා නැතිවම බැරි අංගයකි. නත්තල් සීයාගේ නම ඇසූ පමණින් අප සිහියට නැඟෙන්නේ සාන්ත නිකුලස් මුනිතුමාවයි. 4 වන සියවසේ දී තුර්කියේ උපන්න එතුමා තම ළමා කාලයේ සිට ඉතා කීකරු, භක්තිමත් කිතුනුවෙකු විය. එසේම එතුමාගේ දෙමාපියන් මිය ගියේ එතුමාට විශාල වස්තුවක් උරුම කරමිණි. එතුමා මෙයින් දිළින්දන්ට උදව් උපකාර කිරීමට කිසිලෙසකින් පසුබට වූයේ නැත. එතුමාගේ මෙම පරිත්‍යාගශීලිභාවය නිසාම එතුමා ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්විය. නමුත් රෝමාණුවන් එතුමාව සිරගත කර නොයෙකුත් වධහිංසා පැමිණවීය. කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා රෝම අධිරාජ්‍යයා ලෙස පත්වූ පසු එතුමාට නිදහසේ දොර කවුළු විවර වුණි. කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා කිතුණුවෙකු බවට පත්වීමෙන් පසු ක්‍රි.ව. 325 දී කැඳවනු ලැබූ නිසියාවේ පළමුවන මන්ත්‍රණ සභාවට ද සාන්ත නිකුලස් මුනිතුමා සහභාගි වූ බව කියැවේ.

සාන්ත නිකුලස් මුනිතුමා කුඩා දරුවන්ට බොහෝ සේ ආදරය කළ බවද ඔවුන්ට උදව් උපකාර කළ බවද ප්‍රකට කරුණකි. එබැවින් එතුමා කුඩා දරුවන්ගේ මුණිවරයා ලෙසද, නාවිකයන්ගේ, අවිවාහක යුවතියන්ගේ, බෙහෙත් කඩ හිමියන්ගේ, බේකරි කරුවන්ගේ, සිරකරුවන්ගේ, සිවලුන්ගේ ද, සිසිලියේ, ග්‍රීසියේ සහ රුසියාවේ අරක්ගත් මුණිවරයා ලෙසද හැඳින්වේ.
සා. නිකුලස් මුනිතුමා

ඕලන්ද වැසියෝ සාන්ත නිකුලස් මුනිතුමාව ඉංග්‍රීසි බසින් ඇමතුවේ Sint Nikolaas කියාය. පසුකාලීනව මෙය Sinterklaas වී අවසානයේදී Santa Claus බවට පත්ව ඇතැයි විශ්වාස කෙරේ.

අද අප නත්තල් සීයාව දකින්නේ රතු ඇඳූමක් ඇඳගත්, සුදූ රැවුලක් ඇති, තරබාරු පුද්ගලයෙක් ලෙසටය. නමුත් සාන්ත නිකුලස් මුනිතුමාව මුල්කාලීන සිතුවම් වල දකින්න ලැබෙන්නේ කෙසඟ සිරුරක් ඇති පුද්ගලයෙක් ලෙසටය. 1809 වසරේ දී වොෂින්ටන් අර්වින් සාන්ත නිකුලස් මුනිතුමා අසු පිටින් පැමිණීම සඳහන් කර තිබේ. 1823 දී ක්ලෙමන්ට් සී. මූවර් The Night Before Christmas ලෙස ප්‍රකට A Visit from Saint Nicholas ග්‍රන්ථය රචනා කළේය. 1860 ගණන් වලදී කාටුන් ශිල්පී තෝමස් නාස්ට් මේ සියල්ලක්ම සැලකිල්ලට ගෙන අද අප දකින නත්තල් සීයාව සිතුවමට නඟන ලදී. නත්තල් සීයාව මෙතරම් වර්ණවත් ලෙස ඉදිරිපත් කළේ ඇමරිකානු ජාතික හැඩන් සන්ඩ්ලෝම් විසිනි.


නත්තල් ගස


අද පවතින පිළිගැනීම අනුව නත්තල් ගස සමාජයට එකතු වූයේ 16 වන සියවසේදී පමණ ජර්මනියෙනි. එනමුත් නත්තල් ගසේ ආරම්භය පිළිබඳ විවිධ ජනප්‍රවාද ජර්මනියෙන්ම අපට දැනගන්නට ලැබේ.

පළමුවන ජනප්‍රවාදයඃ

ජේසුතුමාගේ උපතටත් පෙර සිටම සිසිර කාලයේදී ජර්මානු වැසියන් නොයෙකුත් උත්සව අවස්ථාවන් සඳහා සදාහරිත ශාක සැරසීම කර ඇත. සාන්ත බොනිෆස් තුමා ජර්මනියේ සිටි මිෂනාරිවරයෙකි. එතුමා නත්තල් ගසේ ලක්ෂයන් 3 (ත්‍රිකෝණාකාර) ශුද්ධවූ ත්‍රීත්වයට සමාන කර තිබේ. එක් ජනප්‍රවාදයක පැවසෙන අන්දමට දෙවියෙකු ලෙස ඕක් ගසට වැඳූම් පිඳූම් කරන පිරිසක් ළමයෙකු බිලිපූජා කිරීමට යන අවස්ථාවේදී ඒ පිළිබඳව සාන්ත බොනිෆස් තුමාට දැනගන්නට ලැබී ඇත. දරුවාව බේරා ලැනීමට බොනිෆස් මුනිතුමා එම ඕක් ගස කපා බිම හෙලා ඇත. ගස බිම පතිත වෙත්ම එයින් සුදූ ලොම් සහිත අතු ඇති ගසක් මතුවී ඇති අතර බොනිෆස් මුනිතුමා මෙය ඇදහිල්ලේ සංඛේතය ලෙස හඳූන්වා ඇත. මෙමගින් සංඛේතවත් වන්නේ අසත්‍ය දෙවිවරුන් වෙනුවට කිතුදහම පැමිණි ආකාරයයි.

දෙවන ජනප්‍රවාදයඃ

16 වන සියවසේදී මාර්ටින් ලුතර් නත්තල් දින සැඳෑ මෙහෙයකින් අනතුරුව නිවස බලා එමින් සිටියදී සදාහරිත ශාක අතුරින් ගලා ආ තරු එළිය දැක පුදූමයට පත් වී ඇත. එම ආලෝකය දැකීමෙන් ජේසුස් වහන්සේව ඔහුගේ සිතට පැමිණ තිබේ. ඔහු එම ගසෙන් අත්තක් නිවසට ගෙන ගොස් ඔහු දූටු එම චමත්කාර දර්ශනය පුනරාවර්ජනය කිරීමට, එහි දැල්වූ ඉටිපහන් සවි කළ බව සඳහන් වේ.

තෙවන ජනප්‍රවාදයඃ

ජර්මනියේ සෑම වසරකම දෙසැම්බර් 24 වන දින රඟදක්වන ලද ආදම් සහ ඒව පිළිබඳ නාට්‍යයක පාරාදීසයේ ගස ලෙස රංග භාණ්ඩයක් තිබී ඇත. සිසිරයේදී ඇපල් ගස් වල ඵල හා පත්‍ර හට නොගන්නා නිසා සදාහරිත ශාකවල ඇපල් ගෙඩි එල්ලා ඇත. පසුකාලීනව ඇපල් වෙනුවට දිව්‍ය සත්ප්‍රසාදය සංකේතවත් කිරීමට වේෆර්ස් එල්ලා ඇත. කල්යත්ම වේෆර්ස් වෙනුවට මේවායේ රසකැවිලි එල්ලා ඇත.

සිව්වන ජනප්‍රවාදයඃ

1800 ගණන්වලදී රෙපරමාදූ සභාව, ගස කුරුස ගස ලෙසටත්, සදාහරිත ශාක සදාකාලික ජීවිතයටත් සමාන කළහ. ඔවුන් ෂාරොන්හි රෝස සිහිවන්නට එය රෝස මලින් සරසා, ජේසුස් වහන්සේ ලෝකයේ ආලෝකය බව පිළිඹිබු කිරීමට මුදූනේ දැල්වූ ඉටිපහනක් සවිකර තිබේ.


ගවලෙන


ගවලෙන් සම්ප්‍රදාය ඇතිකිරීමට මුල්වූවායි සැලකෙන්නේ අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමායි. එතුමා ශුද්ධෝත්තම පියතුමාගේද අවසර ගෙන ජීවමාන මිනිසුන් සහ සතුන් යොදාගෙන 1223 නත්තල් රැයේ ඉතාලියේ එතුමාගේ දේවස්ථානය පිටත පළමු ගවලෙන නිර්මාණය කළේය. මෙම අදහස ඉතා ඉක්මණින් ව්‍යාප්ත විය. සමහර රටවල ගවලෙන සඳහා ලී කැටයම් පවා උපයෝගි කොට ගත්හ. නත්තල් දින සන්ධ්‍යාව වනතුරු ජේසු බිළිඳාව ගවලෙනේ නොතැබූ අතර රජතුන් කට්ටුව ගවලෙනේ තබන ලද්දේ රජතුන් කට්ටුවේ (ජේසු බිළිඳූන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ) මංගල්‍යය දින දීය.


දේවදූතයෝ


දෙවියන් වහන්සේ ගැලවුම්කරුවාගේ පැමිණීම ප්‍රකාශ කිරීමට මෙන්ම ජේසු වහන්සේගේ උපත දැනුම් දීමට ද දේවදූතයන් උපයෝගි කොට ගත් සේක. මරිය තුමියව ජේසුස් වහන්සේගේ මව වීමට තෝරා ගත් බව දැනුම් දීමට ගාබ්‍රියෙල් දේවදූතයාව දෙවියන් වහන්සේ විසින් එවන ලද සේක (ලූක් 1/26-38). තණ මිටියාවතේ සිටි එඬේරුන්ට ජේසුස් වහන්සේගේ උපත දැනුම් දීමට දේවදූතයන් දර්ශනය විය (ලූක් 2/9-16).

17 වන සියවසේදී දේවදූතයන්ව ගවලෙනට හඳූන්වා දෙන ලද්දේ දකුණු ඉතාලියෙනි. පසු කාලීනව දේවදූතයන් සැරසිල්ලක් බවට පත්වූ අතර දේවදූතයන් අපේ රැකවළුන් බවත් ඔවුන් සාමය, සතුට සහ සහජීවනය අප වෙත ගෙන එන බවත් ජනතාව විශ්වාස කිරීමට පටන් ගත්හ.


තාරකාව


නත්තල් සමයේදී අප, තරුව සැරසිල්ලක් ලෙස භාවිතා කරන්නේ බෙත්ලෙහෙමේ දර්ශනය වෙමින් ශාස්ත්‍රවන්තයන්ට මඟපෙන්වූ එම ඓතිහාසික තාරකාව සිහි කිරීමටය. සමහරු මෙම තාරකාව වල්ගා තරුවක් ලෙසද, තවත් සමහරු ග්‍රහලෝක දෙකක් එකට පෙනීමක් ලෙසත් හඳූන්වති. න්‍යායාත්මකව මෙය ක්‍රි. පූ. 7 දී පමණ සිදූවූ බව සොයාගෙන තිබේ.

නත්තල් ගසේ මුදූනේ බෙත්ලෙහෙමේ තාරකාව සිහි කිරීමට තරුවකින් සරසනු ලැබේ.


සීනුව


මධ්‍යතන යුගයේදී ජේසුස් වහන්සේගේ පැමිණීම පිළිබඳව නපුරු ආත්මයන්ට අනතුරු ඇඟවීමට මධ්‍යම රාත්‍රිය වනතුරු ඉතා උස් සංඛ්‍යාතයන්ගේ සීනු නාද කළ බව කියවේ. විශාල ශබ්දයක් මඟින් නපුරු ආත්ම පළවා හැරිය හැකි බවට එකල මතයක් පැවතිණි.

නත්තල් සීයාගේ කරත්තයේ බැඳි පිණිමුවන්ගේ ගෙලෙහි ද මිහිරි නද දෙන සීනු තිබූ බව ජනප්‍රවාදයේ දැක්වේ.

එසේම සීනුව දේවස්ථාන මෙහෙයන් පීළිබඳව දැනුම් දීමට මෙන්ම නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවේ දී ජේසුස් වහන්සේගේ උපත දැනුම් දීමට ද යොදා ගැනේ.


ඉටිපහන්


දැල්වූ ඉටිපහන, කිතුණුවන්ට ජේසුස් වහන්සේ ලෝකයේ ආලෝකය බව පසක් කර දෙයි. අදටත් යුරෝපයේ ජනතාව ඔවුන්ගේ ජනේල වල හා නත්තල් ගසේ ඉටිපහන් රැඳවීම කරනු ලබයි.

කිතුණුවන් ආගමන කාලයේදී ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිහි කිරීමට ඉටිපහන් යොදා ගනී (ආගමන මල් කළඹ).



හෝලි අතු


හෝලි ශාක ලෝකයේ බොහෝ ප්‍රදේශයන් හී දක්නට ලැබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ශීත සෘතුවේදී පවා මෙම ශාකය කොළ පැහැයෙන් පැවතීමයි. මේ නිසා මෙම ශාකය සැරසිළි සඳහා භාවිතා කර ඇත. හෝලි අතු යොදා සාදන ලද වඩම ඒවායේ පත්‍රයන්හි ඉඳිකටු වැනි කටු ඇති නිසා ජේසුස් වහන්සේගේ කටු ඔටුන්න ලෙසත්, රත් පැහැති ඵල ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරය ලෙසත් නිරූපණය වේ. මෙම නිසා හෝලි අතු එහි ඵල සමඟ ගත් විට ජේසුස් වහන්සේගේ දූක් විඳීම සිහි ගන්වයි.


සරසන ලද සදාහරිත රවුම


නත්තල් සමයේදී මෙය සැරසිල්ලක් ලෙස බොහෝ නිවෙස්වල ප්‍රධාන දොරටුවේ එල්ලා තිබෙනු දක්නට පුළුවනි. යුරෝපය ආශ්‍රිතව මෙම සැරසිල්ල සඳහා භාවිතා කරනුයේ හෝලි අතුය. ඈත අතීතයේදී සමහර ජනකොටස් සිසිරයේදී නැවත හිරු උදාවේවා යයි පතමින් මෙවැනි සදාහරිත රවුම් වලට වැඳූම් පිඳූම් කළ බව සඳහන් වේ. ජේසුස් වහන්සේ ගේ කටු ඔටුන්න ද හෝලි අතු වලින් නිර්මාණය කළ බවට ද සමහරු මත පළ කරති. ඔවුන් තවදූරටත් සඳහන් කරන්නේ මෙම ඵල මුලදී සුදූ පැහැයෙන් තිබුණ මුත් ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරය නිසා රතු පැහැයට හැරුණු බවයි.


සීනි කෙවිට


අතීතයේදී දෙමාපියන් තම දරුවන්ට සීනි වලින් සාදන ලද දණ්ඩක් ආකාරයේ රස කැවිල්ලක් දී ඇත. 1670 දී පමණ ජර්මානු කන්තාරු කණ්ඩායමක ප්‍රධානියෙක් මෙම සීනි දඬු එඬේරෙකුගේ කෙවිටක් ආකාරයට නවා නත්තල් මෙහෙය සඳහා පැමිණෙන දරුවන්ට දී ඇත. පසුව මෙය යුරෝපය පුරා ව්‍යාප්ත වූ අතර රෝසමලින් සරසන ලද සීනි කෙවිටි නිවෙස් හි සැරසිලි ලෙස භාවිතා වී ඇත. වර්ශ 1900 දී පමණ මෙයට එහි සාම්ප්‍රදායික රතු ඉරි සහ පෙපර්මින්ට් රසය එක් වී ඇත.

සීනි කෙවිටේ ආරම්භය පිළිබඳව තවත් ජනප්‍රවාදයක් ඇත. මෙම ජනප්‍රවාදයට අනුව 19 වන සියවසේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ රසකැවිලි නිෂ්පාදකයෙකුට නත්තලේ සැබෑ අරුත දෙන රසකැවිල්ලක් හඳූන්වා දීමට අවශ්‍ය වී මෙම සීනි කෙවිට නිර්මාණය කර ඇත.

මෙහි දක්නට ලැබෙන පැහැදිළිම සංකේතය වන්නේ මෙහි හැඩයයි. මෙම සීනි කෙවිට අනෙක් අතට හැරවූ විට ඉංගී්‍රසි හෝඩියේ ‘J’ අක්ෂරයේ හැඩය ගනී. එයින් නිරූපණය වන්නේ ‘Jesus’ නොහොත් ජේසුස් වහන්සේ බවයි. මෙහි සාමාන්‍ය හැඩය එඬේරෙකුගේ යෂ්ඨිය මෙන් වේ. ජේසුස් වහන්සේ කීපවරක්ම තමා බැටළු එඬේරාණන් බව ප්‍රකාශ කළ සේක. එසේම ජේසුස් වහන්සේගේ උපත පළමුවෙන්ම සැළවූයේ එඬේරුන් පිරිසකටයි.

මෙහි ඇති තද ගතිය ජේසුස් වහන්සේ ගැලවීමේ පර්වතය බව අපට පසක් කරයි. මෙහි ඇති සුදූ පැහැය ජේසුස් වහන්සේ කන්‍යාවියකගෙන් උපත ලැබූ බවද ඔවුන් වහන්සේගේ පිවිතුරු දිවි පෙවෙතද නිරූපණය කරයි. තවද ඔවුන් වහන්සේගේ රුධීරය මඟින් අප ජීවිතද හිම මෙන් සුදූ කර ඇත (එළිදරව්ව 7/14, යෙසායා 1/18).

මෙහි මුල් ඉරි තුන මඟින් ශුද්ධවූ ත්‍රීත්වය සංකේතවත් කරන අතර රතු ඉරි තුන මඟින් ජේසුස් වහන්සේ මිනිස් සංහතිය වෙනුවෙන් හෙළූ රුධීරය සංකේතවත් කරයි.

සමහර විට කොළ පැහැති ඉරක් සීනි කෙවිටේ දක්නට ලැබේ. මෙයින් අදහස් වන්නේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගෙන් අපට ලැබුණු තිළීණය බවයි.

මෙම අදහස් නිසා සීනි කෙවිට හුදෙක් රසකැවිල්ලක් පමණක්ම නොව එය කෙටි ධර්මෝපදේශයක්ද වේ.


රතු මේස් කකුල


සාන්ත නිකුලස් මුනිතුමා අසරණව සිටි යුවතියන් තිදෙනෙකුට දායාදය ලෙස මුදල් දූන් බව සඳහන් වේ. ඉතා දිළිඳූ නිවසක වාසය කළ ඔවුන් සිසිරයේදී ඔවුන්ගේ ඇඳූම් වියළා ගනු ලැබුවේ දර උදූනට ඉහලින් ඒවා එල්ලා තැබීමෙනි. සාන්ත නිකුලස් මුනිතුමාගේ මෙම තිළිණය එතුමා මෙම නිවසේ දූම් කවුළුව තුළින් දැමූ විට එය වියලෙන්නට තබා තිබූ මේස් කකුලකට වැටී ඇත. එබැවින් තනි මේස් කකුල තෑගි දෙන මල්ලක් බවට පත්ව අද වන විට සැරසිල්ලක් බවට පත්වී ඇත.


නත්තල් සුභපැතුම් පත්


ප්‍රථම නත්තල් සුභ පැතුම් පත
පළමුවෙන්ම නත්තල් සුභපැතුම් පතක් දී ඇතැයි සැළකෙන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රීමත් හෙන්රි කෝල් ය. පළමු නත්තල් සුභපැතුම් පත නිර්මාණය කර ඇත්තේ 1843 වසරේදී ජේ. සී. හෝර්ස්ලි විසින්ය. මෙම පළමු නිර්මාණයේ කාඩ්පත් දහසක් පමණ බ්‍රිතාන්‍යය තුළ අලෙවි වූ බව කියවේ.

ඇමරිකාවේ පළමු වරට නත්තල් කාඩ්පතක් 1875 වසරේදී ලුවිස් ප්‍රාන්ග් විසින් මුද්‍රණය කරන ලදී. ඔහු ජාතික වශයෙන් නත්තල් නිර්මාණ තරඟයක් පවත්වා එහි නිර්මාණ කාඩ්පත් සඳහා යොදාගෙන තිබේ.

නත්තල් කාඩ්පත් තම හිතෛශීන්ට ආදරය ප්‍රකාශ කරන ක්‍රමයක් ලෙස දැක්විය හැක.




ඉහත සඳහන් කළ විග්‍රහය අනුව නත්තල නැමති අසහාය සිදූවීමේ සැබෑ අරුත විදහා දැක්වීමට එය ආශ්‍රිත සංකේත සහ විශේෂාංග සමත්ව ඇත. නමුත් වත්මන් සමාජයේ බොහෝ දූරට මෙම සංකේත සහ විශේෂාංග වාණිජත්වයට ගොදූරු වී ඇත. එමනිසා නත්තලේ උතුම් පණිවුඩය සහ සාරධර්ම කියාදෙන මෙම සංකේත සහ විශේෂාංග ඉදිරි පරපුර වෙනුවෙන් ඒවායේ සැබෑ අරුත සමඟ රැක ගැනීම අප සැමගේ යුතුකමකි, වගකීමකි.


*මේ සඳහා තොරතුරු සොයාගත්තේ පොත පතින් සහ අන්තර්ජාලයෙනි. පිංතූර සියල්ලම Google Image වෙතිනි.

Wednesday, 4 December 2013

ඇයි මේ පාට පාට?

පින්තූරය ගත්තේ මෙතනින්


අද කියන්න යන්නේ පාට පාට කතාවක්. මොකද මේ කාලෙකට කොළ පාට, තවත් කාලෙකට දම් පාට, සමහර දවස් වලට රතු පාට, තවත් සමහර දවස් වලට සුදු පාට? මේ ප්‍රශ්න සේරටම උත්තර මේ ලිපිය කියවලා ඉවර වෙද්දී ලැබෙයි. එහෙම නොතේරුණ තැනක් තිබ්බොත් අහලා පැහැදිළි කරගන්න පුළුවන්.

දැන් කට්ටිය බලනවා ඇති මොනවාද මේ කියවන්නේ කියලා. මම මේ කතා කරන්න යන්නේ පසුගිය ඉරුදින ආරම්භ වුන කතෝලික ජනවන්දනා වසර ගැනයි. තවත් විදිහකට කියනවා නම්, කතෝලික ආගමේ වත් පිළිවෙත් වසරක් තුළ බෙදී යන ආකාරය.

අපේ සාමාන්‍යය එදිනෙදා වසරක සෘතු 4 ක් (ශ්‍රී ලංකාවේ නොමැති වුවත්), මාස 12 ක්, සති 52 ක්, දින 365 ක්, නිවාඩු, විශේෂ උත්සව දින, සිහිවටන/ සැමරුම් දින වලින් සමන්විත වෙනවා වගේ, කතෝලික ජනවන්දනා වසරේත් මේ වගේ විශේෂාංගයන් දක්නට ලැබෙනවා.

ජනවන්දනා වසර ආගමන සමය, නත්තල් සමය, චතාරික සමය, පාස්කු සමය සහ සාමාන්‍යය සමය ලෙස කොටස් වලට බෙදෙනවා. ජනවන්දනා වසර ආරම්භ වන්නේ ආගමන සමයේ පළවන ඉරිදායි (මෙම වසරේ එය පසුගිය ඉරිදා දිනයට යෙදී තිබුණා). මෙසේ ආරම්භ වන වසර අවසන් වන්නේ ක්‍රිස්තු රාජ මංගල්‍යයත් සමඟයි.

කතෝලික ජනවන්දනා වසර මේ ආකාරයට සකස් කර තිබෙන්නේ ජේසුස් වහන්සේ ගේ ජීවිතය, එනම් උන්වහන්සේ ගේ පිළිසිඳ ගැනීම, උපතේ සිට උත්ථාන වීම දක්වා සහ උන්වහන්සේ ගේ නැවත පැමිණීම දක්වා අවස්ථා හොඳින් තේරුම් ගැනීමටයි. 

ජනවන්දනා වසර විසින් දිනයට නියමිත බයිබල් කියවීම ලබාදෙන අතර, ඒ ඒ සමයේ ඇතුලත් වන විශේෂ මංගල දිනයන් සහ සිහිවටන දිනයන් ද සඳහන් කරනවා. ජනවන්දනා වසර අපට සන්නිවේදනය කරන තව දෙයක් වන්නේ ඒ ඒ ජනවන්දනා මෙහෙයන් හීදී පියතුමා පැළඳිය යුතු පූජක ඇඳුම් වල වර්ණයන්. එක් එක් කාලයන් හී වර්ණයන් මෙසේයි. ආගමන සමය - දම්, නත්තල් සමය - සුදු/රත්‍රන්, චතාරික සමය- දම්, පාස්කු සමය - සුදු/රත්‍රන් සහ සාමාන්‍යය සමය - කොළ. ඊට අමතරව දිනට අදාල ශුද්ධවන්තයාට අනුව, එනම් සාමාන්‍යය ශුද්ධවන්තයනට සුදු පැහැයද, ප්‍රාණපරිත්‍යාගීවරුනට රතු පැහැය ලෙසද අදාල පාට වෙනස් වෙනවා.

ජනවන්දනා චක්‍රය වසර 3 කින් සමන්විත වෙනවා. වසර 'A' සමන්විත වන්නේ මැතිව් සුභාරංචියෙන් වන අතර, වසර 'B' මාක් සුභාරංචියෙන් ද, වසර 'C' ලූක් සුභාරංචියෙන් ද සමන්විත වෙනවා. මේ අතර ජුවාම් සුභාරංචිය වසර පුරාවටම ද විශේෂයෙන් පාස්කු සමයේ දී භාවිතා වෙනවා.


ආගමන සමය - Advent (දම්)


පින්තූරය ගත්තේ මෙතනින්
ජනවන්දනා වසර ආරම්භ වන්නේ සති 4 කින් සමන්විත වන මෙම ආගමන සමයෙනුයි. මෙම කාලයේ දක්නට ලැබෙන විශේෂ අංගයක් වන්නේ ඉටිපහන් 5 කින් සමන්විත වන ආගමන මල්කළඹ යි. සෑම සතියකම ඉටිපහන බැඟින් දල්වන අතර, මැද තිබෙන සුදු ඉටිපහන දල්වන්නේ නත්තල් දිනයේදී යි. 

මෙම කාලයේදී පියතුමා ගේ පූජා ඇඳුමේ වර්ණය වන්නේ දම් පැහැයයි. මෙම කාලය ජේසුස් වහන්සේ ගේ පැමිණීම සඳහා වන බලාපොරොත්තුවේ කාලයයි. ආගමන සමයේ තුන්වන ඉරුදින මෙම කාලයේ අඩක් ගෙවුණ බව හඟවන්න රෝස පැහැය භාවිතා කරනවා. රෝස පැහැයෙන් ප්‍රීතිය සංඛේතවත් කෙරෙන්නේ නත්තල සඳහා වන කාලයේ අඩක් ගෙවා නිම කර ඇති බව හැඟවීමටයි.


නත්තල් සමය - Christmas (සුදු)


පින්තූරය ගත්තේ මෙතනින්
මෙම කාලයේ ජේසුස් වහන්සේ ගේ උපත සිහි කරන අතර, ශුද්ධ වූ පවුලේ මංගල්‍යය, දේව මාතා මංගල්‍යය සහ රජතුන් කට්ටුවේ මංගල්‍යයන් ද මෙම කාලයේ සමරණු ලබනවා. මෙම කාලයේ දී දේවස්ථාන, නිවෙස්, නත්තල් සැරසිළි වලින් අලංකරණය වී ඇති බව දකින්න පුළුවන්. 

නත්තල සඳහා තෝරාගෙන තිබෙන්නේ සුදු පැහැයයි. ඒ වගේම සුදු පැහැයෙන් නව උපතක පිවිතුරු භාවය සංඛේතවත් කෙරෙනවා.


සාමාන්‍යය සමය - Ordinary Time (කොළ)


පින්තූරය ගත්තේ මෙතනින්
නත්තල් සමය සහ චතාරික සමය අතර කාලය තුළ දිව්‍ය පූජාවේ කියවීම් සඳහා යොදා ගන්නේ අපෝස්තුළු වරුන් තෝරා ගැනීම, ඉගැන්වීම්, සුවකිරීම් වැනි ජේසුස් වහන්සේ ගේ ප්‍රසිද්ධ ජීවිතයේ මුල් සිදුවීම්. අළු බදාදා ට පෙර දින අඟහරුවාදා අවසන් වන සාමාන්‍යය සමයේ පළමුවන කොටස නැවතත් පාස්කු සමයෙන් පසුව ඇරඹේ.

සාමාන්‍යය සමය වගාවේ සහ ඵල දැරීමේ කාලය වගේම තම තමාගේ විශ්වාසයේ ස්ථීර වීමේත් කාලයයි. කොළ පැහැය පරිසරයේ ජීවයේ පාටයි. මෙම ජීවයේ කාලය පුරාවටම ජේසුස් වහන්සේ ගේ ප්‍රසිද්ධ ජීවිතයේ සිදුවීම් දිව්‍ය පූජාව තුළ දී අසන්නට ලැබේ. 

සාමාන්‍යය සමයේ කොටස් 2 න් දිගම කොටස වන්නේ පාස්කු සමයෙන් පසුව ඇරඹෙන කොටසයි. එය ක්‍රිස්තු රාජ මංගල්‍යයත් සමඟ අවසන් වෙනවා. 


චතාරික සමය - Lent (දම්)


පින්තූරය ගත්තේ මෙතනින්
අළු බදාදායින් ඇරඹෙන චතාරික කාලය මහා බ්‍රහස්පතින්දා දක්වා දිව යනවා. දින 40 කින් සමන්විත චතාරිකය එක්වරු ශීලයේ සහ මර්ධන ක්‍රියාවේ කතෝලිකයන් නිරත වන කාලයක්. මෙම කාලයේ වර්ණය දම් පැහැය වන අතර කුරුසියේ පාදනමස්කාරය මෙම කාලයේ දැකිය හැකි විශේෂ අංගයක්. 

අළු බදාදා දිනයේ නළල මත අළු තවරා ගෙන කතෝලිකයන් තම පාප වලට මනස්ථාපනය වන ගමන් සිහි කරන්නේ පසින් සෑදුණු සැම දෙනෙක්ම නැවතත් පසටම හැරෙන බවයි.


ශුද්ධවූ සතිය - Holy Week


පින්තූරය ගත්තේ මෙතනින්
ශුද්ධවූ සතිය ආරම්භ වන්නේ ගොබ් ඉරුදිනෙනි. මෙම සතියේ ගොබ් ඉරුදින සහ මහා සිකුරාදා දින වර්ණය වන්නේ රතු පැහැය වන අතර මහා බ්‍රහස්පතින්දා සහ පාස්කු ඉරුදින (ආලේලූයා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව) වර්ණය වන්නේ සුදු පැහැයයි. 

මෙම සතිය තුළ ජේසුස් වහන්සේ ගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරනවා. 


පාස්කු සමය - Easter (සුදු/ රත්‍රන්)


පින්තූරය ගත්තේ මෙතනින්
දින 50 කින් සමන්විත වන පාස්කු සමය, ශුද්ධෝත්මාගමන (පෙන්තකෝස්ත) මංගල්‍යයත් සමඟ අවසන් වනවා. ඒ වගේම ජේසුස් වහන්සේ ගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය පාස්කු ඉරුදින සිට දින 40 ක් ගත වූ තැන සමරණවා. 

කතෝලික ජනවන්දනා වසරේ විශේෂිතම කාලය වන මෙම කාලය තුළ උත්ථානයෙන් පසු ජේසුස් වහන්සේ ගේ ඉගැන්වීම් පිළිබඳව අවධානය යොමු කරනවා. මෙම කාලයේ වර්ණය ලෙස සුදු හෝ රත්‍රන් පැහැය යොදා ගන්නවා.

පාස්කු සමය අවසන් කරන පෙන්තකෝස්ත මංගල දින වර්ණය වන්නේ රතු පැහැයයි. මෙම පෙන්තකෝස්ත මංගල දිනයට පසුව සාමාන්‍යය සමයේ දෙවන කොටස ආරම්භ කෙරෙනවා.


මූලාශ්‍ර:

  • http://cyberfaith.com/liturgical_year.cfm 
  • http://en.wikipedia.org/wiki/Liturgical_year

Tuesday, 6 August 2013

තුෂාරයේ අප ස්වාමි දූ


පාප්තුමා හිම වැටුන ප්‍රදේශය සළකුණු කිරීම
https://en.wikipedia.org/wiki/File:Masolino,_fondazione_di_santa_maria_maggiore.jpg

අද කතා කරන්න යන්නේ තුෂාරයේ අප ස්වාමි දූව ගැනයි. ඒ කියන්නේ ජේසුස් වහන්සේ ගේ අම්මා වන මරිය තුමිය ට කොහොමද තුෂාරයේ අප ස්වාමි දූ නැත්නම් Our Lady of Snows කියන නම හැදුනේ කියන එක.

4 වන සියවසේ සිටි රෝම වංශාධිපති ජෝන් ට සහ ඔහු ගේ බිරිඳ ට දරුවන් නොසිටි නිසා, දරුවන් බලාපොරොත්තුවෙන් මරිය තුමිය ගේ මැදිහත්කම අයැද සිටියා. ඒ වෙනුවෙන් තමන් ගේ දේපළ ද පරිත්‍යාග කරන බවට පොරොන්දු වී, ඒ දේපළ මරිය තුමිය වෙනුවෙන් කෙසේ පරිත්‍යාග කරන්නේ දැයි ලකුණක් පෙන්වන ලෙස එතුමියගෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අනුව ක්‍රි.ව. 358 අගෝස්තු 4 වන දින රාත්‍රියේ සිහිනයකින් ඔවුන් දෙපළට ද, එවකට පාප්තුමා වුණ ලිබේරියුස් පාප්තුමා ට ද (Pope Liberius) දර්ශනය වී එදින රාත්‍රියේ හිම වැටෙන ප්‍රදේශයේ දේවස්ථානයක් ගොඩනඟන ලෙස මරිය තුමිය ඉල්ලා සිටියා. මෙසේ අගෝස්තු 4-5 දෙදින අතර රෝමයේ එස්කුයිලිනේ (Esquiline) කන්දේ ප්‍රදේශයකට හිම පතනයක් සිදුවී තිබුණා. මේ වසරේ ග්‍රීෂ්ම සෘතුවයි ගෙවෙමින් තිබුණේ. 

මෙම ස්ථානයට පෙරහැරින් පැමිණි පාප්තුමා හිම වැටුණ ප්‍රදේශය සළකුණු කර එහි දේවස්ථානය ගොඩනඟන්න නියෝග කළා. ඒ අනුව ජෝන් වංශාධිපතියා ගේ මුදල් වලින් මේ ස්ථානයේ පළවෙනි දේවස්ථානය ගොඩනැඟුවා.

විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් අද අපට දකින්න ලැබෙන මරියා මජ්ජෝරේ බැසිලිකාව යි (The Papal Basilica of Santa Maria Maggiore) මේ ගොඩනඟපු දේවස්ථානය. මෙම බැසිලිකාව රෝමයේ ප්‍රධාන බැසිලිකා හතරෙන් එකක්.

මරියා මජ්ජෝරේ බැසිලිකාව
https://en.wikipedia.org/wiki/File:SantaMariaMaggiore_front.jpg

මෙම ප්‍රාතිහාර්‍යයාත්මක හිම පතනය සිහි කරමින් සෑම වසරකම අගෝස්තු 5 වන දින උදෑසන දිව්‍ය පූජාව සහ සවස සැඳෑ යැදුම (Vespers) අතරතුර බැසිලිකාව උඩ සිට සුදු මල් පෙති ඉසිණු ලබනවා.

මල් පෙති ඉසීම

බිම වැටී ඇති මල්පෙති



මූලාශ්‍ර:

Sunday, 28 July 2013

මොකක්ද මේ දවස් වල කතා කරන ලෝක තරුණ දිනය?


http://wydcentral.org/wyd-rio-2013-official-logo/


ඕගොල්ලෝ මේ දවස් වල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලින් අහලා ඇති ලෝක තරුණ දිනයක් ගැන. මේ තමා සෑම වසරකම කතෝලික සභාව තරුණ තරුණියන් වෙනුවෙන් පවත්වන දිනය. වසර 2කට හෝ 3කට වතාවක් ජාත්‍යන්තරව පවත්වන මෙම දිනය, අනෙක් වසර වලදී පදවි මට්ටමෙන් ගොබ් ඉරුදින පවත්වනු ලැබේ.

1985 වසරේදී භාග්‍යවන්ත දෙවන ජුවාම් පාවුළු සුදතුම් පියා විසින් ආරම්භ කරන ලද ලෝක තරුණ දිනය මේ වසරේ පවත්වන්නේ 28 වන වතාවටයි. ඒ පැවැත්වෙන්නේ බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවරයි.
මෙම ලෝක තරුණ දිනයේ නාම සාන්තුවරු ලෙස කතෝලික සභාව නම් කර තිබෙන්නේ කල්කටාවේ භාග්‍යවන්ත තෙරේසා මවුතුමියව සහ භාග්‍යවන්ත දෙවන ජුවාම් පාවුළු සුදතුම් පියාවයි.

භාග්‍යවන්ත දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් මෙම ලෝක තරුණ දිනයට සංඛේත දෙකක් ලබා දී තිබෙනවා. ඒවා නම් 1984 වසරේ ලබා දුන් මීටර් 3.8 ක් පමණ උස ලී කුරුසිය සහ 2003 වසරේ ලබා දුන් මරිය තුමිය ගේ පින්තූරයක්. සෑම ජාත්‍යන්තර මට්ටමේ ලෝක තරුණ දිනයකම මෙම සංඛේත දෙක දැකගන්න පුළුවන්.
http://www.catholic.net/index.php?option=dedestaca&id=9661

මෙය ලෝක තරුණ දිනය ලෙස හැඳින්වූවත්, ජාත්‍යන්තර මට්ටමෙන් සතියක් පුරා පවත්වනවා. ආගමීක වතාවන්, දහම් දැනුම, ගීතිකා ගායනයන් වලින් මෙම දින කිහිපය සමන්විත වෙනවා. පාප්තුමා ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර උත්සවය අවසන් වෙන්නේ ඉරුදින පැවැත්වෙන දේව මෙහෙයත් සමඟයි. ඊළඟ ජාත්‍යන්තර මට්ටමේ ලෝක තරුණ දිනය පැවැත්වෙන නඟරය ප්‍රකාශයට පත්කරන්නේ මෙම දේව මෙහෙය අවසානයේ පාප්තුමා විසිනි.

ලෝක තරුණ දිනයේ ශ්‍රී ලංකා ධජය


ජාත්‍යන්තරව පවත්වා ඇති ලෝක තරුණ දිනයන් මෙසේයි.

1985 වතිකානුව
1987 බුඑනොස් අයිරෙස්, ආර්ජන්ටිනාව
1989 සන්තියාගෝ දෙ කොම්පෝස්තෙලා, ස්පාඤ්ඤය
1991 චෙස්තොකෝවා, පෝලන්තය
1993 ඩෙන්වර්, ඇමරිකාව
1995 මැනිලා, පිලිපීනය
1997 පැරීසිය, ප්‍රංශය
2000 වතිකානුව
2002 ටොරෙන්ටෝ, කැනඩාව
2005 කොලෝන්, ජර්මනිය
2008 සිඩ්නි, ඔස්ට්‍රේලියාව
2011 මැඩ්‍රීඩ්, ස්පාඤ්ඤය
2013 රියෝ ද ජනෙයිරෝ, බ්‍රසීලය

මෙයින් වැඩිම සහභාගිත්වය වාර්තා වී තිබෙන්නේ පිලිපීනයේ 1995 දී පැවති ලෝක තරුණ දිනයේදීයි. එය 5,000,000 ක් ලෙස සටහන් වෙනවා.
පිලිපීනයේ පැවති ලෝක තරුණ දිනය
http://www.telegraph.co.uk/news/picturegalleries/worldnews/8474137/Pope-John-Paul-II-in-pictures.html?image=21


මෙම ලිපිය ලියන්න බොහෝ ඉවහල් වුනේ අද දිනයෙන් (ජූලි 28) අවසන් වන 2013 වසරේ ලෝක තරුණ දිනයයි. ඔබටත් මෙම අවස්ථාව සජීවීව මෙම ස්ථානයෙන් සහ මෙම YouTube ගිණුම හරහා නැරඹිය හැකියි. මෙම YouTube ගිණුමේ, 2013 වසරේ ලෝක තරුණ දිනයේ සියළු අවස්ථාවන් හී වීඩියෝ දර්ශණ නැරඹීමේ හැකියාව ද පවතිනවා.

මූලාශ්‍ර:

  • http://en.wikipedia.org/wiki/World_Youth_Day
  • http://www.vatican.va/gmg/documents/gmg_chronicle-wyd_20020325_en.html
  • http://www.rio2013.com/en/world-youth-day/wyd-symbols


ප.ලි.: අවසාන දේව මෙහෙය අද දින (ජූලි 28 ඉරිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 6.15 ට ආරම්භ වේ.

Saturday, 11 May 2013

කතෝලික සභාවේ මව් දේවස්ථානය



අද කතා කරන්න යන්නේ කතෝලික දේවස්ථානයක් ගැනයි. මේ දේවස්ථානය සියළුම කතෝලික දේවස්ථාන වල මව් දේවස්ථානය ලෙස සැළකෙනවා. මේ තමා රෝමයේ පිහිටි පාප් තුමාගේ ආසන දෙව්මැදුර වන ලතෙරානු බැසිලිකාවයි. (සෑම කතෝලික රදගුරු පදවියකම ආසන දෙව්මැදුරක් තිබෙනවා. කොළඹ පදවියේ ආසන දෙව්මැදුර වන්නේ කොටහේනේ සාන්ත ලුසියා ආසන දෙව්මැදුරයි.) අසීසියේ සාන්ත ප්‍රැන්සිස් මුනිතුමා ගැන කතා කරන කොට මේ බැසිලිකාව ගැන කතා කළා කට්ටියට මතක ඇති කියලා හිතනවා.

මෙම බැසිලිකාව ගොඩනඟලා තිබෙන්නේ රෝම රාජකීය අශ්වරෝහක බලකායේ නව බලකොටුවේ (Castra Nova equitum singularium) නටඹුන් මතයි. ක්‍රි.ව. 193 දී සෙප්ටිමියුස් සෙවේරුස් (Septimius Severus) විසින් ආරම්භ කරන ලද මෙම බලකොටුව, කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා (Constantine I) මැක්සෙන්සියුස් (Maxentius) ට එරෙහිව කළ සටනේදී විනාශයට පත්වෙනවා. 

මෙම බලකොටුව අසලම තිබූ අනෙක් ප්‍රධාන ගොඩනැඟිල්ල වුනේ ප්ලවුති ලතෙරානි (Plauti Laterani) පවුලට අයත් ලතෙරානු මන්දීරයයි (Lateran Palace). මෙම ලතෙරානුවෝ රෝම අධිරාජ්‍යායාගේ පරිපාලකයන් ලෙස කටයුතු කර තිබෙනවා. නීරෝ අධිරාජ්‍යයාගේ කාලයේදී කොන්සල් තනතුරක් දැරූ ප්ලවුතියුස් ලතෙරානුස් (Plautius Lateranus) අධිරාජ්‍යයාට එරෙහි කුමන්ත්‍රණ කිරීමට වරදකරු වීමෙන් ඔහුගේ සියළුම දේපළ රාජසන්තක වෙනවා.

කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා තමාගේ දෙවන කසාදය ලෙස මැක්සෙන්සියුස් (Maxentius) ගේ සහෝදරිය වන ෆවුස්තාව (Fausta) කසාද බැඳීමත් සමඟ ලතෙරානු මන්දීරය අධිරාජ්‍යයාගේ භාරයට පත්වෙනවා. එම කාලය වන විට Domus Faustae හෙවත් ෆවුස්තා ගේ නිවස ලෙස හැඳින්වුණ ලතෙරානු මන්දීරය කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා විසින් රෝමයේ රදගුරු තුමා වන පාප්තුමා වෙත ලබා දී තිබෙනවා. මෙය මිල්තියාදෙස් පාප්තුමා (Pope Miltiades) ගේ කාලයේ සිදුවන්නට ඇතැයි අනුමාණ කෙරෙන අතර, සාන්ත පළවෙනි සිල්වෙස්ටර් පාප්තුමා (Pope Saint Silvester I) මෙම මන්දීරය තමාගේ නවාතැන බවට පත්කර ගන්නවා.
මෙහි බැසිලිකාව ක්‍රි.ව. 324 දී සිල්වෙස්ටර් පාප්තුමා විසින් දෙවියන් ගේ ගෘහය (Domus Dei) ලෙස කැපකර, පාප් නිල ආසනය මෙහි තැන්පත් කිරීමත් සමඟ මෙය රෝමයේ රද්ගුරු තුමා ගේ එනම් පාප්තුමා ගේ ආසන දෙව්මැදුර බවට පත්වෙනවා. (ආසන දෙව්මැදුරේ විශේෂත්වය වන්නේ, ඒ තුළ එම අදාළ පදවියේ රදගුරු තුමා ගේ නිල ආසනය දක්නට ලැබීමයි.) මෙම බැසිලිකාවේ විශේෂත්වය වන, සියළුම දේවස්ථාන වල මව් දේවස්ථානය ලෙස දැක්වීමට ප්‍රධාන දොරටුව අසල මෙසේ සඳහන් කර තිබෙනවා. Sacrosancta Lateranensis ecclesia omnium urbis et orbis ecclesiarum mater et caput, එනම් 'අති පූජනීය ලතෙරානු දේවස්ථානය, නඟරයේ සහ ලොව පුරා පිහිටි සියළු දේවස්ථානයන් හී ප්‍රධාන සහ මව් දේවස්ථානයයි.'

පාප්තුමා ගේ නිල ආසනය

මව් දේවස්ථානය


ලතෙරානු බැසිලිකාව දෙවතාවක දී නැවතත් කැප කර තිබෙනවා. තුන්වන සර්ජියුස් පාප්තුමා (Pope Sergius III) විසින් 10 වන ශත වර්ශයේ දී ස්නාවක ජුවාම් මුනිතුමාට ද (St. John the Baptist), 12 වන ශත වර්ශයේ දී දෙවන ලුචියුස් පාප්තුමා (Pope Lucius II) විසින් සුවිශේෂක ජුවාම් මුනිතුමාට ද (St. John the Evangelist) කැප කර තිබෙනවා.  තවද ස්නාවක ජුවාම් මුනිතුමාව සහ සුවිශේෂක ජුවාම් මුනිතුමාව මෙම බැසිලිකාවේ සම නාම සාන්තුවරු ලෙස සැළකෙනවා. ඒ වගේම ප්‍රධාන නාම සාන්තුවරයා වන්නේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් වහන්සේයි (Christ the Saviour).

මිල්තියාදෙස් පාප්තුමා (Pope Miltiades) ගෙන් පටන් ගෙන 14 වන ශත වර්ශයේ මුල් භාගයේ දී පාප් නිල වාසස්ථානය ප්‍රංශයේ අවිංඥොං (Avignon)  ප්‍රදේශයට ගෙන ගිය ප්‍රංශ ජාතික පස්වන ක්ලෙමන්ට් පාප්තුමා (Pope Clement V) දක්වා සියළුම පාප්වරු ලතෙරානු මන්දීරය තම වාසස්ථානය කරගත්තා.

9 වන ශත වර්ශයේ දී භූමිකම්පාවකට ද හසුවන බැසිලිකාව, පාප්තුමා ප්‍රංශයේ සිටි කාලය තුළ දෙවතාවකදීම, එනම් 1307 හා 1361 වර්ශ වල දී ගිණි ගැනීමකට හසු වෙනවා. මේ දෙවතාවේදීම ප්‍රංශයේ සිටි පාප්තුමා මෙය පිළිසකර කිරීමට ආධාර කළා. නමුත් මේ කිසිවකින් වත් සිදුවී තිබුණ විනාශයේ බරපතල කම නිසා මෙම බැසිලිකාව සහ මන්දීරය පරණ තිබුණ තත්ත්වයට ගන්න බැරිවුණා. 

පාප්තුමා නැවතත් ප්‍රංශයේ සිට රෝමයට පැමිණි පසු නැවතීමට ලතෙරානු මන්දීරය හිතකර මට්ටමක පැවතියේ නෑ. ඒ නිසා එතුමා මුලින්ම ත්‍රස්තවේරේ හී සාන්ත මරියා බැසිලිකාවේ ද (Basilica di Santa Maria in Trastevere), ඉන්පසුව සාන්ත  මරියා මජ්ජෝරේ බැසිලිකාවේද (Basilica di Santa Maria Maggiore), අවසානයේ අද දක්වා පාප්තුමා වාසය කරන වතිකානුවට පැමිණියා. 

ලතෙරානු බැසිලිකාවේ සහ මන්දීරයේ ප්‍රතිසංස්කරණ කටයුතු පස්වන සික්ස්ටස් පාප්තුමා (Pope Sixtus V) යටතේ ආරම්භ කෙරෙනවා. සික්ස්ටස් පාප්තුමා මේ සඳහා දොමෙනිකෝ ෆොන්තානා (Domenico Fontana) ගෘහනිර්මණ ශිල්පියාව යොදා ගත් අතර ඔහු පැරණි ලතෙරාඅනු මන්දීරය කඩා දමා ඒ වෙනුවට නව ගොඩනැඟිල්ලක් නිර්මාණය කළා. ඒ අසල ලෝකයේ දැනට දක්නට ලැබෙන විශාලතම ස්ථාවර ඔබලිස්කය (obelisk) දක්නට ලැබෙනවා. මෙම ඔබලිස්කය සෑදීම ආරම්භ කර ඇත්තේ තුන්වන තුට්මෝසේ (Thutmose III) විසින් සහ ඊජිප්තුවේ කර්නාක් දෙවොල (Karnak Temple) ඉදිරිපිට සිටවනු ලබා ඇත්තේ හතරවන තුට්මෝසේ (Thutmose IV) විසිනි. කොන්ස්තන්තීනු අධිරාජ්‍යයාට මෙය කොන්ස්තන්තිනෝපලයට ගෙනයාමට අවශ්‍ය වූවත් දෙවන කොන්ස්තන්තියුස් (Constantius II) විසින් මෙය රෝමයට එවා ඇත. ඉන්පසු එය මැක්සිමස් සර්කසයේ (Circus Maximus) සිටවනු ලැබුවා. කලකට පසු මෙය කැඩුණු විට සර්කසයේම වළලා දමා තිබෙනවා. 16 වන සියවසේ දී සොයාගත් මෙය පස්වන සික්ස්ටස් පාප්තුමා විසින් 1588 අගෝස්තු 3 වන දින වර්තමාන ස්ථානයේ සිටවනු ලැබුවා.

ලතෙරානු ඔබලිස්කය
http://en.wikipedia.org/wiki/Archbasilica_of_St._John_Lateran


දසවන ඉනොසන්ට් පාප්තුමා (Pope Innocent X) විසින් බැසිලිකාවේ ඇතුලත ෆ්‍රන්චෙස්කො බොරොමිනි (Francesco Borromini) ගෘහනිර්මාණ ශිල්පියා මඟින් පිළිසකර කර 1718 වර්ශයේ දී එහි ඇතුලත අපෝස්තුළුවරුන් ගේ ප්‍රතිමා තැන්පත් කළා. 

බැසිලිකාව ඇතුලත


12 වන ක්ලෙමන්ට් පාප්තුමා ගේ (Pope Clement XII) ප්‍රතිසංස්කරණ දර්ශනය වෙනස් එකක්. එතුමාට අවශ්‍ය වුණා බැසිලිකාවට අළුත් මුහුණතක් (මොගොප්පුව / façade) නිර්මාණය කරන්න. මේ සඳහා එතුමා විශේෂ ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒ තමා, මේ සඳහා නිර්මාණ තරග්අයක් පැවැත්වීම. මේ තරඟයට නිර්මාණ ශිල්පීන් 23 දෙනෙක් තරඟ කළා. අවසානයේ අලෙස්සන්ඩ්‍රෝ ගලීලෙයි (Alessandro Galilei) ගේ නිර්මානය ජයග්‍රහණය කළා. අද අපට දක්නට ලැබෙන්නේ මේ නිර්මාණයයි. විශාල ප්‍රතිමා 15 කින් සමන්විත මෙය සාදා අවසන් කළේ 1735 වසරේදී යි.

මෙම බැසිලිකාව පසෙකින් කලකට පෙර ප්‍රධාන තාපසාරාමයක් තිබුණා. මෙම තාපසාරාමයේ තාපසයන්ගේ වගකීම වුණේ බැසිලිකාවේ කටයුතු වලට සහය වීමයි. අද වන විට මෙම තාපසාරාමයේ ඉතිරි වී ඇත්තේ 13වන සියවසේ සක්මන් මළුව (Cloister) පමණයි.

ලතෙරානු බැසිලිකාව අසලම ශුද්ධවූ පඩිපෙළ (Scala Sancta / Holy Stairs) දක්නට ලැබෙනවා. ජනප්‍රවාදයට අනුව මෙම කිරිගරුඬ පඩිපෙළ ජෙරුසලමේ පිලාත් රජු ආණ්ඩුකාරයා ගේ මාළිගාවේ පඩිපෙළ ලෙස සැළකෙනවා. පිලාත් ගේ තීන්දුව ලබන්නට ජේසුස් වහන්සේ සිටියේ මෙම පඩිපෙළ මතයි. මෙය 4 වන සියවසේ දී රෝමයට ගෙන එන්නට මුල්වූවායි සැළකෙන්නේ කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා ගේ මව වන සාන්ත හෙලේනා (Saint Helena) මුනිතුමියයි. 1589 වසරේ 5 වන සික්ස්ටස් පාප්තුමා මෙය වර්තමානයේ තිබෙන ස්ථානයේ තැන්පත් කළා. 

ශුද්ධ වූ පඩිපෙළ
http://en.wikipedia.org/wiki/Archbasilica_of_St._John_Lateran


ප.ලි.: මෙතනින් ඔබට ලතෙරානු බැසිලිකාව ඔබේ නිවසේ සිටම බැලිය හැකි අතර, වැඩිදුර ඡායාරූප සඳහා මෙතනින් යන්න.

මූලාශ්‍ර:


Saturday, 20 April 2013

කතෝලික පියතුමකු වන්නේ කොහොමද?

අද කතා කරන්න යන්නේ කොහොමද කතෝලික සභාවේ පියතුමකු වෙන්නේ සහ ඒ සඳහා සූදානම් වන ආකාරය ගැනයි.

මේ ලිපිය ලියන්න අරගෙන මාසෙකටත් වැඩියි. පාප් වහන්සේ ගැන කළින් පළ කරපු ලිපිය ලියන්න වුන හින්දා මේ ලිපියට පොඩි විවේකයක් දෙන්න වුණා. ඊට පස්සේ විභාග වගේම එක එක වැඩ හින්දා තවත් පරක්කු වුණා. කොහොම හරි දැන් මේක පළ කරන්න සුදුසුම විදිහට පරිසරය සැකසිලා තියෙනවා. ඒ තමා අප්‍රේල් 20 වන සෙනසුරාදා උදෑසන 9 ට කොළඹ කොටහේනේ සාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ පැවැත්වෙන පූජාත්වර දානයේ දේව මෙහෙය. එදින කතෝලික සභාවට නවක පියවරු 12 දෙනෙක් එක්වෙනවා. ඒ සියළුම දෙනාට සුභ පැතුම් සමඟයි මේ ලිපිය.


මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වන්නේ පදවි පූජකයකු වෙන ආකාරයයි, විශේෂයෙන්ම කොළඹ අගරදගුරු පදවිය කේන්ද්‍ර කරගෙනයි. ශ්‍රී ලංකාව තුළ රදගුරු පදවි 12 ක් පවතිනවා. මේ සෑම පදවියකටම අයත් ඒ ඒ පදවියේ වැඩ කටයුතු කරන පූජකවරු සිටිනවා.

ශ්‍රී ලංකාවේ රදගුරු පදවි


මුලින්ම කියන්න ඕනා, බොහෝ විට කතෝලික පියතුමකු වීමට ආශාව ඇතිවන්නේ දිව්‍ය පූජාවට උදව් වීමෙනුයි. මොකද, මේ පූජා සහයක දරුවන් සෑම විටම දිව්‍ය පූජාවට සහභාගි වෙමින්, ඒ මෙහෙයට හවුල් වන නිසා.

මෙම ආශාව ඇතිවීමෙන් පසු, ඇත්තටම තමාට කතෝලික පියතුමකු වීමට අවශ්‍යයම දැයි දෙමව්පියන් ගේ සහ මීසම් සේවක පියතුමා ගේ උදව් ඇතිව දැන ගත යුතුයි. මේ සඳහා හොඳ යාච්ඤාශීලි ජීවිතයක් ද ගත කළ යුතු වෙනවා.

මෙසේ ඔබ, ඔබේ ස්ව කැමැත්තෙන් තීරණය කිරීමෙන් පසු, ඔබ වයස අවුරුදු 14 හෝ ඊට වැඩිනම් මීසම් සේව්ක පියතුමා සමඟ කතා කර ඔහුගේ මාර්ගයෙන් පුංචි දෙව්සත්හලට ඇතුලත් වීමට අයදුම් පත්‍රය යොමු කරන්න පුළුවන්.

අයදුම් පත යොමු කිරීමෙන් දින කිහිපයකින් පසු ඔබට සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයක් ලැබෙන අතර මෙම සම්මුඛ් පරීක්ෂණය අදියර කිහිපයකින් සමන්විත වෙනවා.

  • පදවියේ රදගුරුතුමාව හමුවීම
  • කුඩා දෙව්සත්හලේ අදියුරුපියතුමාව හමුවීම
  • ලිඛිත පරීක්ෂණය
  • වෛද්‍ය පරීක්ෂණය


ඔබ මෙම සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූයේ නම් ඔබට කුඩා දෙව්සත්හලට ඇතුලත් වීමට අවස්ථාව ලැබෙනවා.

කුඩා දෙව්සත්හල (Minor Seminary)

බොරැල්ලේ ඇති කොළඹ පදවියේ කුඩා දෙව්සත්හල


ඔබට ලබාදෙන දිනයක, අවශ්‍ය බඩු බාහිරාදිය ද රැගෙන ඔබේ දෙමව්පියන් සමඟ කුඩා දෙව්සත්හලට පැමිණීමට සිදුවෙනවා. මෙතැන් පටන් ඔබේ නිවස වගේම පාසල බවට පත්වන්නේ මෙම කුඩා දෙව්සත්හලයි.

මම, මෙහි පාසල බවට ද පත්වෙනවා කිව්වේ, මෙම කුඩා දෙව්සත්හල තුළ 9 වසරේ සිට උසස් පෙළ දක්වා ඉගෙනීමට කටයුතු සළසා ඇති බැවිනි. මෙසේ අ.පො.ස. සා/පෙළ සහ අ.පො.ස. උ/පෙළ සඳහා ඉගෙන ගන්නා අතර, කතෝලික දහම පිළිබඳව මූලික ඉගැන්වීම් ද, ඉංග්‍රීසි භාෂාව සහ දෙමළ භාෂාව ද ඉගැන්වෙනවා. (දේව කැදවීම් අඩු  රදගුරු පදවි වල දෙව්සත්හල තුළම පාසල නොමැති අතර, එම පදවි දෙව්සත්හල් දරුවන් අසල පාසල් වලට ගොස් අධ්‍යාපනය ලබනවා.)

මෙම කුඩා දෙව්සත්හල තුළ ආගමීක (අධ්‍යාත්මික) සහ අධ්‍යාපනික දැනුමට අමතරව විශය බාහිර ක්‍රියාකාරකම් ද, ක්‍රීඩා කටයුතු සඳහා ද අවස්ථාව ලැබෙනවා. මෙසේ ගායනය, වාදනය ඉගෙන ගැනීමට ද, තමාගේ හැකියාව පෙන්වීමට ගායන, වාදන, කථික, රචනා තරඟ ද, තමාගේ ක්‍රීඩා කුසලතා සඳහා වාර්ශීක ක්‍රීඩා උත්සවයද ඔබට ලැබෙන අවස්ථාවන් වෙනවා.

නාට්‍යයක අවස්ථාවක්


අතරමැදි/ ප්‍රාරම්භක දෙව්සත්හල (Intermediate/ Propaedeutic Seminary)



කුඩා දෙව්සත්හලේ දී උ/පෙළ සමත්වන ඔබට, කතෝලික පූජකයකු වීමට ඉදිරියට යාමට තවත් විභාගයකට මුහුණදෙන්න සිදුවෙනවා. මෙය ඉංග්‍රීසි භාෂාව පිළිබඳව වාචිකව සහ ලිඛිතව පැවැත්වෙන ජාතික දෙව්සත්හලට ඇතුලත්වීමේ විභාගයයි (National Seminary Entrance Examination/ NSE Exam). මෙම විභාගයෙන් සමත්වන අයට කලුතර පිහිටි අතරමැදි/ ප්‍රාරම්භක දෙව්සත්හල ට ඇතුලත් වීමට අවස්ථාව ලැබෙනවා. අනෙක් රදගුරු පදවි වලින් ද පැමිණෙන මෙම දෙව්සත්හලේ ප්‍රධාන තේමාව වන්නේ යාච්ඤාව සහ වැඩ කිරීමයි (Pray and Work). කලු ගඟ අසල දර්ශනීය ස්ථානයක පිහිටි මෙම දෙව්සත්හලේ යාච්ඤාවට යෝග්‍ය පරිසරයක් තිබෙනවා. දෙව්සත්හල සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සෑම කෙනෙකුගේම වගකීමක් වෙනවා.

කලුතර දෙව්සත්හලේ තිබෙන  අංගයන් අතර ප්‍රධාන වගේම සිත්ගන්නා අංගයක් වන්නේ කඳවුරු යෑමයි. සතියක පමණ කාලයක් මෙම කඳවුරු භූමියේ සිටින්න වෙනවා. කඳවුරට යන ගමනේ පටන් නැවත එනතුරු සියළු දෙයම පරීක්ෂණයට භාජනය වෙන අතර ඒ සැම අංගයකින්ම තම කණ්ඩායමට ලකුණු රැස් කරගන්න පුළුවන්. බොහෝ විට මේ සෑම අංගයක්ම කණ්ඩායමටම පොදු වෙනවා. මේවා අතර කිලෝමීටර 15ක් 20ක් පමණ කඳවුරු භූමියට පැමිණීම, කූඩාරම් සෑදීම, කෑම ඉවීම, නොයෙක් ක්‍රීඩා අංග ප්‍රධාන තැනක් ගන්නවා.


කඳවුරු බිමේ


වසරක පමණ කාලයක් කලුතර ගත කරන්නට සිදුවන අතර, ඉන්පසු පූජක පුහුණු දිවියේ අවසාන අදියර කිහිපය සඳහා නුවර, අම්පිටිය ලංකා අප ස්වාමි දූ ජාතික දෙව්සත්හල කරා යන්නට සිදුවනවා.

ජාතික දෙව්සත්හල (National Seminary)

දර්ශන පීඨය
දේවධර්ම පීඨය


අම්පිටියේ මුල් වසර දෙක ගෙවෙන්නේ දර්ශන විද්‍යාව ඉගෙන ගැනීමට සඳහායි. (දැන් මෙය වසර 3ක් දක්වා දීර්ඝ කර ඇත.) ඉන්පසුව දෙව්සත්හල් ජීවිතයේ අවසාන වසර හතර ගෙවෙන්නේ දේව ධර්මය හැදෑරීමටයි.

දේවධර්ම පීඨයේ දේවස්ථානය ඇතුලත


මෙම දෙව්සත්හලේ ද විශය බාහිර ක්‍රියාකාරකම් සඳහා තැනක් ලබා දෙනවා. ඒ අතර වාර්ශීක ක්‍රීඩා උත්සවය, සංස්කෘතික උළෙල සහ ඊට සමගාමි තරඟ, නාට්‍ය තරඟ ප්‍රධාන තැනක් ගන්නවා.

දෙව්සත්හල් ජීවිතයේ අවසාන වසර හතර ආරම්භයේ දී, එනම් දේව ධර්මය පළමු වසරේ දී සියළුම සහෝදරතුමන්ලාට දෙව්සත්හලේ පවත්වන විශේෂ දේව මෙහෙයක දී නිල වශයෙන් ලෝගුව පැළඳීමට අවසර ලැබෙනවා. එසේම මෙම දේව ධර්මය හදාරන සහෝදරතුමන්ලා නත්තලට සහ පාස්කුවට විවිධ මීසම් වල පියතුමන්ලා ගේ සහයට යන අතර අම්පිටියේ සිටින කොළඹ පදවියේ සහෝදරවරුන් අගෝස්තු නිවාඩුවේදී පදවිය සතු වත්තක වැඩවලට සහය වීමට ද යනවා.

වතු වැඩ (වැටකට කනු සිටුවන්න යමින්)


අධ්‍යාත්මික, අධ්‍යාපනික, සමාජීය සහ ධර්මදූත පුහුණුවකින් පසු එනම් සතර වන වසර දේවධර්මය අවසන් කිරීමෙන් පසු තම කැඳවීම පිළිබඳව ස්ථීර තීරණයකට එළඹීමෙන් පසු තේවාචාර්‍යවරය ලැබෙන අතර, ඉන්පසු එම තේවාචාර්‍යවරුන් මීසම් හී සේවයට යවනු ලබනවා.

මෙසේ මීසම් වල සේවය කිරීමෙන් ද අත්දැකීම් ලබාගන්නා තේවාචාර්‍යවරුන්ට තම තමුන් ගේ පදවි වලදී, තමන්ගේ රදගුරුතුමා අතින් මෙතරම් කාලයක් බලාපොරොත්තුවෙන් සිටි, මෙතරම් කාලයක් පුහුණුවීම් ලැබූ පූජක වරම් ලැබෙනවා. බොහෝ විට මෙම පූජාත්වර දේව මෙහෙය පදවියේ ආසන දෙව්මැදුරේ දී යි පවත්වනු ලබන්නේ. මෙසේ පූජක වරම් ලැබූ නවක පියතුමා පසුදින තම ගමේ දේවස්ථානයේ දී තමාගේ කුළුඳුල් දිව්‍ය යාගය පවත්වනවා.


Sunday, 31 March 2013

අපට ලැබුණ පාප්තුමා



16 වන බෙනඩික්ට් සුදතුම් පියාගේ ඉසිඹු ලැබීමත් සමඟ සියළු දෙනාම බලා සිටියේ කවදාද මීලඟ පාප්තුමාව පත්කරන්නේ කියලා. අනුව කාර්දිනල් මඩුල්ල, සුදොතුම් පිය වරණ දැහැන 2013 වසරේ මාර්තු මස 12 වන දින පවත්වන්නට තීරණය කළා.

මේ අනුව කවුරුත් බලා සිටිය දිනය උදාවුණා. 12 වන දින උදේ වරුවේ සුදොතුම් පිය වරණ දැහැනට  පෙර පවත්වන විශේෂ දේව මෙහෙය (Pro eligendo Pontifice) වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාවේ දී, කාර්දිනල් මඬුල්ලේ ප්රධානියා වන අන්ජෙලෝ සොදානෝ කාර්දිනල් තුමාගේ ප්රධානත්වයෙන් සිදුවුණා.


Pro eligendo Pontifice මෙහෙය


එදින සවස් වරුවේ ප්රථම ඡන්ද වටය පවත්වන්නට නියමව තිබුනා. අනුව ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා තිබූ කාර්දිනල්වරු 115 දෙනා (සුදුසුකම නම් වයස අවුරුදු 80 අඩු කාර්දිනල් වරයකු වීමයි) වතිකානුව තුළ පිහිටි ශාන්ත පාවුළු දේවස්ථානයේ යැදුම් මෙහෙයකට සහභාගි වී පෙරහැරෙන් සුදොතුම් පිය වරණ දැහැන සඳහා රහස් සම්මුති සභාව (Conclave) පැවැත්වෙන සිස්ටයින් දේවස්ථානය කරා ගමන් කළා. ඉන්පසු එක් එක් කාර්දිනල් තුමන් දේව වාක් ප්රකාශයක් මත අත තබා සාධාරණව සුදොතුම් පිය වරණ දැහැනට සහභාගි වන බවට ප්රතිඥා දෙනවා. සියළු දෙනාම දිවුරුම් දී අවසන් වූ පසු වතිකානුවේ ජනවන්දනාව භාර ප්රධාන පියතුමා "Extra Omnes" කීමත් සමඟ සුදොතුම් පිය වරණ දැහැනට සම්බන්ධ නොවන, එනම් කාර්දිනල් වරු 115 දෙනාට අමතර සියළු දෙනාම සිස්ටයින් දේවස්ථානයෙන් පිටවෙනවා. ඉන්පසු පෙර කී පියතුමා සිස්ටයින් දේවස්ථානයට ඇතුල්වන ප්රධාන දොරටුව වසා දැමීමත් සමඟ සුදොතුම් පිය වරණ දැහැනේ රහස් සම්මුති සභාව ආරම්භ වෙනවා. (Conclave වදන පැමිණුනේ ලතින් භාෂාවේ cum clave එනම් with a keyයන වදනිනි. සිංහල භාෂවෙන් එය 'අගුළු දැමූ' යන අරුතක් ගෙන එනවා.)



මෙසේ සුදොතුම් පිය වරණ දැහැනේ පළමු වටය ආරම්භ වීමත් සමඟ වතිකානුවේ රැස්ව සිටි දහස් සංඛ්යාත ජනතාවගේ දෑස් යොමුව තිබුනේ සිස්ටයින් දේවස්ථානයේ වහල මත සවි කර තිබූ දුම් කවුළුව වෙතටයි. ඉතාලි වේලාවෙන් සවස 7.40 පමණ දුම් කවුළුවෙන් කලු දුම් පිටවීමත් සමඟ ජනතාව දැනගත්තා පළමු වටයෙන් කවුරුන් හෝ 2/3 ප්රතිශතයක් ලබා නොමැති බව. ඉතින් නව පාප්තුමකු දැක ගැනීම දවසකින් කල් දාන්න සැමටම සිදුවුනා.

මුළු කතෝලික සභාවටම වැදගත් වුන මාර්තු 13 වන දිනය උදාවුනා. සමහර පුද්ගලයන් නවක පාප්තුමකු අපේක්ෂාවෙන් උදයේ සිටම වතිකානුවට රොක් වී සිටියා. නමුත් පෙ.. 11.40 පමණ පිටවූ කලු දුමත් සමඟ වතිකානුවට රැස්වූ ජනතාවට සහ ලොව වටා සිටින කතෝලිකයන්ට  නැවතත් සංඥා කළේ නවක පාප් තුමකු පත් නොවූ බවයි

මෙසේ වට 3 කට පසුවද පාප්තුමකු පත් නොවූ නිසා බොහෝ දෙනා සිතුවා එදින සවස් වරුවේ හෝ පසුදින උදය වරුවේ හෝ නවක පාප්තුමකු පත්වේවි කියා. මේ බලාපොරොත්තුව මත මමත් සවස 4 පමණ වන විට වතිකානුවට පැමිණුනා. මොහොත වන විට වර්ෂාවක් පතිත වෙමින් තිබුනත් පැමිණි පිරිස් කුඩ ඔසවාගෙන නොඉවසිල්ලෙන් බලා සිටියේ සවස 5 ත් 6 ත් අතර සුදු දුම දකින්න ලැබේදෝ කියා. නමුත් 4 වන වටයෙන්ද ප්රථිඵලයක් ලැබූ බවක් පෙනෙන්නට නොතිබුනා

ඊටපසු සියල්ලන්ගේ දෑස් යොමු වී තිබුනේ සාන්ත පීතර බැසිලිකාවට දකුණු පසින් සිස්ටයින් දේවස්ථානයේ වහල මත සවි කර තිබූ දුම් කවුළුවට සහ බැසිලිකාවේ වම් පස ඔරලෝසුව වෙතටයි. මේ අතර සවස 7 පසුවී සුළු මොහොතකින් සිස්ටයින් දේවස්ථානයේ දුම් කවුළුවෙන් සුදු දුම් රොද ඉහල නඟිනවාත් සමඟම රැස්ව සිටි  ජනයා ඔල්වරසන් දෙන්නට වුනා. ඒත් සමඟම මෙතරම් වෙලාවක් තිබුණ වැස්සද පහවුනා.



දැන් සියළු දෙනාටම ඇතිවූ ප්රශ්නය තමා කවුද පාප් ධූරයට පත්වුනේ කියන එක. සුදු දුම පිටවී පැයකට පමණ පසු ප්රංශ ජාතික ජන් ලුවි තවුරොං කාර්දිනල් (Jean-Louis Tauron) හිමිපාණන් ANNUNTIO VOBIS GAUDIUM MAGNUM HABEMUS PAPAM (විශාල ප්‍රීතියකින් ඔබට දන්වන්නේ, අපට පාප් තුමකු ලැබී තිබේ) කියා පවසා, ආර්ජන්ටිනාවේ බුඑනොස් අයිරෙස් හී අගරදගුරු අති උතුම් හෝර්ජේ මාරියෝ බෙර්ගෝලියෝ කාර්දිනල් හිමිපාණන්, ප්රැන්සිස් නමින් පාප් ධූරයට පත්වී ඇති බව ප්රකාශ කිරීමත් සමඟ නැවතත් රැස්ව සිටි ජනතාව ඔල්වරසන් දෙන්නට පටන් ගත්තා

ඉන්පසු සුළු මොහොතකින් සාන්ත පීතර බැසිලිකාවේ සඳළු තලයට පැමිණි නවක සුදොතුම් පියා ජනතාවට ආචාර කර, සුළු දෙසුමක් පවත්වා, තමන්ගේ ප්රථම අපෝස්තලික ආශිර්වාදය (Urbi et Orbi) ජනතාවට ලබා දුන්නා. එම අපෝස්තලික ආශිර්වාදය ලබා දීමට පෙර එතුමා කළ විශේෂ දෙයක් වුනේ, විශ්රාමික සුදොතුම් පියා වෙනුවෙන් සහ එතුමා වෙනුවෙන් රැස්ව සිටි ජනතාවට යාච්ඤා කරන්න යයි ඉල්ලීමයි



දැන් බලමු මේ නවක පාප් තුමාගේ වතගොත ටිකක්.

1936 දෙසැම්බර් 17 වන දින ආර්ජන්ටිනාවේ බුඑනොස් අයිරෙස් හී දී ඉතාලි සංක්රමණිකයන් වන මාරියෝ හෝසේ බෙර්ගෝලියෝ සහ රෙජිනා මරියා සිවෝරි දාව හෝර්ජේ මාරියෝ බෙර්ගෝලියෝ උපත ලැබුවා

සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු සමඟ හැදී වැඩුණු, රසායන විද්යා උපාධිධාරියකු වන මෙතුමා 1958 මාර්තු මස 11 වන දින ජේසු නිකායට බැඳී පූජකයකු වීමට කටයුතු කරනවාදර්ශනවාදය සහ දේවධර්මය හදාරණ මෙතුමා 1969 දෙසැම්බර් 13 වන දින රමෝන් හෝසේ කාස්තෙල්ලානෝ  (Ramon José Castellano) අගරදගුරුතුමා මඟින් පූජක වරම් ලබා ගන්නවා.
පවුලේ අය සමඟ


මෙතුමා ගේ තිබූ නායකත්ව ගුණාංග නිසාම 1973 වර්ශයේ දී ආර්ජන්ටීනා ජේසු නිකායික ප්රාදේශාධිපති ලෙස පත්වෙනවා. 1979 දක්වා එම තනතුරේ කටයුතු කරන එතුමා 1980 දී සාන්ත මිගෙල් දෙව්සත්හලේ අධ්‍යක්ෂ ලෙස පත්වෙනවා.

1992 වර්ශයේ දී බුඑනොස් අයිරෙස් හී සහයක රදගුරු ලෙස අභිසෙස් ලබන මෙතුමා 1997 ජූනි මස 3 වන දින එම පදවියේම යුවරදගුරු ධූරයට පත් වෙනවා. කුවාරන්සිනෝ කාර්දිනල් තුමා ගේ (Cardinal Quarrancino) අභාවයත් සමඟ 1998 දී බුඑනොස් අයිරෙස් පදවියේ අගරදගුරු ලෙස පත්වෙනවා.

2001 පෙබරවාරි 21 වැනිදා භාග්යවන්ත දෙවන ජුවාම් පාවුළු සුදොතුම් පියා විසින් කාර්දිනල් වරයට ඔසවන ලද අතර, දේව වන්දනාව සහ සක්රමේන්තු විනය පිළිබඳ සසුන් කොමිසමේත්, පූජක වරුන් පිළිබඳ සසුන් කොමිසමේත්, අපෝස්තලික ජීවිත සංගම්වල සහ ආලේපලත් ආයතන පිළිබඳ සසුන් කොමිසමේත්, පවුල් පිළිබඳ සසුන් කොමිසමේ සහ ලතින් අමරිකානු කොමිසමේත් සාමාජිකත්වය දැරුවා.
කාර්දිනල් ධූරය ලබමින්


කාර්දිනල් වරයකු ලෙස ඉතා සරළ දිවි පෙවතක් ගත කළ මෙතුමා සාමාන් නිවසක ජීවත් වෙමින්, පොදු ප්රවාහන සේවා භාවිතා කරමින්, තමා ගේ කෑම බීම පවා තමා විසින්ම සකසා ගත්තා. ගබ්සාව, අනායාස මරණය, මරණ දඬුවම, සම ලිංගික විවාහ වැනි ක්රියාවන්ට මෙතුමා දැඩි ලෙස විරුද්ධ වුනා.

පාප් ධූරය ලැබීමෙන් පසු මෙතුමා ගේ දිවි පෙවෙතේ එතරම් වෙනසක් සිදුවී නෑ. මාර්තු මස 13 වන දින පාප් ධූරයට පත් වී ජනතාවට ආචාර කරන්න පැමිණුන විට සාමාන් සුදු ලෝගුවෙන් පමණක් සැරසී, පාප්තුමකු පළදින රත්තරන් කුරුසය වෙනුවට, කාර්දිනල් වරයකු ලෙස පැළඳි රිදී කුරුසයම පැළඳගෙන පැමිණීම කාගෙත් පැසසුමට ලක්වුණා.

පසුදින මරිය තුමිය ගේ දේවස්ථානයට යාමට පාප්තුමා ගේ නිල රථය සූදානම් කර තිබෙන විටත්, එය ප්රතික්ෂේප කර අනෙක් කාර්දිනල් වරුන් සමඟ ඔවුන් ගමන් ගත් බස් රථයේම ගමන් කිරීමත් නැවත එන විට රෝමයේ එතුමා නැවතී සිටි ස්ථානයට ගොස් බිල ගෙවීමත් විශේෂ සිදුවීම්.




මාධ්යවේදීන් හමුවූ මොහොතේ, ප්රැන්සිස් නාමය ගැනීමට හේතුව එතුමා පැවසුවා. සුදොතුම් පිය වරණ දැහැනේ පස්වන වටයේ මෙතුමාට 2/3 ඡන්ද ප්රතිශතයක් ලැබෙන බව පෙනෙන විට, එතුමා අසල සිටි බ්රසීලියානු ජාතික ක්ලවුදියෝ හුම්මෙස් (Claudio Hummes) කාර්දිනල් තුමා මෙතුමාට සුභ පතා දුප්පතුන් අමතක නොකරන්න යයි ඉල්ලීමක් කර තිබෙනවා. මෙම ඉල්ලීම ප්රැන්සිස් නාමය ගැනීමට හේතු වූ බවයි එතුමා කියන්නේ. අසීසියේ සාන්ත ප්‍රැන්සිස් මුනිතුමා ගේ දර්ශනය පෙරදැරි කරගෙනයි.

මාර්තු මස 19 වන දින පැවැත් වූ පදවි ප්රාප්ත දේව මෙහෙයේ දී පාප් පැල්ලියම (Papal Pallium) මෙන්ම ධීවර මුදුව (Fisherman's ring) මෙතුමාට ලැබුනා. මෙම මුදුවේ විශේෂත්වය නම් එය රිදී ලෝහයෙන් සාදවා තිබීමත්, එය ප්රධාන වශයෙන් 6 වන පාවුළු පාප් වහන්සේට එන්රිකෝ මන්ෆ්රිනි නම් නිර්මාණකරුවා විසින් සැළසුම් කර තිබුනත්, එතුමා එය භාවිතා කර නොතිබීමයි. 6 වන පාවුළු පාප්තුමා භාවිතා කර ඇත්තේ වෙනත් නිර්මාණයක් සහිත මුදුවකි.

තව විශේෂිත සිදුවීමක් නම් මෙතුමා වතිකානුවේ සාමාන් සේවකයන් සඳහා දිව් පූජාවක් පැවැත්වීමයි. දැන් දැනගන්නට ලැබෙන ආකාරයට මෙතුමා නිල පාප් නවාතැන වෙනුවට, සුදොතුම් පිය වරණ දැහැන වෙනුවෙන් පැවති රහස් සම්මුති සභාව පැවති කාලයේ දී නවාතැන් ගත් Domus Sanctae Martae (දෝමුස් සාන්තේ මාර්තේ) හී කාමරයේම රැඳී සිටිනා බවයි.
වතිකානුවේ සේවකයන් ගේ දිව්‍ය පූජාවට පෙර


මාර්තු මස 23 වන සෙනසුරාදා තවත් සුවිශේෂ සිදුවීමක් වුණා. එනම් පාප් වරු දෙදෙනෙක් එකවර මුණගැසීම. වසර 600 කට පමණ පසු සිදු වූ මෙම සිදුවීම මෙම කාල වකවානුවේ ජීවත් වූ සියළු දෙනාටම සුවිශේෂයි. ප්රැන්සිස් පාප් තුමා විශ්රාමික 16 වන බෙනඩික්ට් පාප්තුමා මුණ ගැසී, එතුමාත් සමඟ එදින දහවල් ආහාරය ගත්තා. පහත වීඩියෝවෙන් එම හමුවීම දැක බලාගන්න පුළුවන්.



අවසාන වශයෙන් ප්රැන්සිස් පාප්තුමාගේ නිල ලාංඡනය පිළිබඳව කරුණු දක්වා මෙම ලිපිය අවසන් කරනවා.


නිල් පැහැති පළිහ තුළ ඉහලින්ම පාප් තුමාගේ නිකායේ, එනම් ජේසු නිකායේ ලාංඡනය දැක්වෙන අතර එහි H අකුර මත කුරුසයද, ඊට පහලින් ජේසුස් වහන්සේව ඇණ ගැසූ ඇණ 3 ද දැක්වෙනවා. පහලින් එක් පසක දැක්වෙන තරුවෙන් දේව මාතාවන්ව ද, නාඩ් මලින් ශුද්ධවූ ජුසේ මුනිතුමාව ද නිරූපණය කෙරෙනවා. මෙමඟින් දේව මාතාවන්ට සහ ජුසේ මුනිදුන්ට මෙතුමා ගේ ඇති භක්තිය පෙන්නුම් කෙරෙනවා.


මූලාශ්‍ර:

  • ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත 2013-03-17
  • http://en.wikipedia.org/wiki/Pope_Francis

ප.ලි.: මේ ලිපිය ලියන්න මූලික වුනේ හසිත ගේ සහ හරී ගේ ඉල්ලීමයි. ලිපිය බ්ලොග් අඩවියට එක් කරන්න සතියක් පමණ ප්‍රමාද වුනා. කොහොම හරි ඒ අතර ඩිලාන් පාප් වහන්සේ ගැන ලිපියක් පළ කරලා තිබුනා. මෙතනින් ගිහිල්ලා හරී ලියලා තියන පාප් වහන්සේ ලිපි වලින් වැඩි විස්තර දැනගන්න පුළුවන්.