ප්‍රැන්සිස් මුනිතුමා ගේ ජීවිතයේ මුල් භාගය ගැන පසුගිය ලිපිය කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහිල්ලා ඒක කියවලා එන්න.
ලෝගුවක් වගේ කඩමලු කබායක් ඇඳගෙන, පාවහන් ද නැතිව ගමන් කරමින් මෙතුමා මනස්ථාපය ගැන දේශනා කරන්න පටන් ගත්තා. මේ අසීසියේ දිළින්දා ට 'පිස්සා' කියලා සමහරු සරදම් කළත් ඒවා සතුටින් බාරගන්න තරම් පෞර්ෂ්‍යත්වයක් සහ අධ්‍යාත්මයක් තිබුනා.
වැඩි කලක් යන්නට පෙර අසීසියේ වංශවත් පවුලකින් පැවත එන බෙර්නාර්දෝ (Bernardo di Quintavalle) ප්‍රැන්සිස් මුනිතුමාගේ පළමුවන අනුගාමිකයා බවට පත් වෙනවා. වසරක් පමණ ගත වන විට මෙතුමාගේ ආදර්ශමත්, අල්පේච්ඡ ජීවිතය ගැන පැහැදී, අනුගාමිකයන් එකොළොස් දෙනෙක් දක්වා කණ්ඩායම වැඩි වර්ධනය වෙනවා. ප්‍රැන්සිස්, පියතුමෙකු වීමට අදහස් නොකළ අතර මේ කණ්ඩායම 'පුංචි සොහොයුරන්' (Friars Minor / ලතින් භාෂාවෙන් Fratres Minores) ලෙස හැඳින්වූවා. මොවුන් ගීත ගයමින්, දෙවිඳුන්ට ප්‍රශංසා කරමින්, මාවත් දිගේ ගමන් කළා.
kaulupiyanpatha.blogspot.com
1209 වසරේ දී, ප්‍රැන්සිස් තම සොයුරන් සඳහා ශු. බයිබලය අනුසාරයෙන් නීති මාලාවක් සකස් කළා. ඉන්පසු එම වසරේම, තම කණ්ඩායමට නිල අවසරය ලබා ගැනීම සඳහා සොයුරන් එකොළොස් දෙනාත් සමඟ 3 වන ඉනොසන්ට් පාප් වහන්සේව හමුවන්නට යන අතර, රෝමයට ඇතුළු වන විට ඔවුන් හඳුනන අසීසියේ ගුයිදෝ රදගුරු තුමාව (Bishop Guido of Assisi) හමුවෙනවා. ඒ මොහොතේ ඔහු සමඟ සිටි ඉනොසන්ට් පාප් වහන්සේ ගේ පාපොච්චාරණ අසන්නා වන ජොවන්නි කාදිනල් තුමා, මෙම පුංචි සොහොයුරන්ව දැක අනුකම්පා සිතී, ඔවුන්ට පාප් වහන්සේව හමුවීමට කටයුතු කරනවා. තරමක් අදිමදි කිරීමෙන් පසු, පසුදින ඔවුන්ව හමුවීමට පාප් වහන්සේ තීරණය කරනවා. සතියක පමණ සාකච්ඡා වලින් පසුව නොනිල අන්දමින් අවසර ලබාදෙන අතර, මේ කණ්ඩායම දෙවියන් වහන්සේ ගේ වරප්‍රසාදයෙන් සහ සංඛ්‍යාත්මකව තවදුරටත් වැඩි වර්ධනය වන්නේ නම්, නිල අවසරය ලබා ගත හැකි බව පාප් වහන්සේ ප්‍රකාශ කරනවා.
මුලින් ඉනොසන්ට් පාප් වහන්සේට මොවුන් ගැන එතරම් පැහැදීමක් නොතිබුනත්, ඔහු දුටු සිහිනය, එනම් ප්‍රැන්සිස් ලතෙරානු බැසිලිකාව (මේ බැසිලිකාව ගැන ඉදිරි දිනයක කියන්න බලාපොරොත්තු වෙනවා) ඔසවාගෙන සිටින දර්ශනයත් සමඟ නිල අවසරය ලබා දෙන්න තීරණය කරනවා. (ලතෙරානු බැසිලිකාව කියන්නේ, රෝමයේ ආසන දෙව්මැදුර වගේම, ක්‍රිස්තානියේ මව් දේවස්ථානයයි.) ඒ අනුව 1210 වසරේ අප්‍රේල් මස 16 දින පුංචි සොහොයුරන්ට, එහෙමත් නැත්නම් ප්‍රැන්සිස්කානුවන්ට කිතුනු සභාවේ නිල අවසරය ලැබෙනවා. මෙම අවසරයත් සමඟ ඔවුන් කිසිදු බාධාවකින් තොරව දේශනා කරමින් දිළිඳු ජීවිතයක් ගත කළා. මොවුන් පෝර්සියුන්කෝලා හි ස්ථාන ගතවී සිටි අතර, උම්බ්‍රියා ප්‍රදේශයෙන් පටන් ගෙන මුළු ඉතාලිය පුරා දේශනා කළා.
මෙම සංඝයට එක්වන සාමාජිකයන් ගණන දිනෙන් දින වැඩි වන්නට වුනා. 1220 වසරේදී පමණ මෙතුමා ලොව පළමු ගවලෙන අසීසියේ ග්‍රෙච්චෝ ප්‍රදේශයේදී නිර්මාණය කළා. මෙහි විශේෂත්වය වන්නේ, මේ සඳහා ප්‍රැන්සිස් මුනිතුමා සජීවි දේ භාවිතා කිරීමයි.
සොබා දහමට පණමෙන් ආදරය කළ මෙතුමා, දේව මහිමය, දේව මැවිල්ලේ චමත්කාරය, සොබා දහම තුල දුටුවා. සොබා දහම තම සොයුරු සොයුරියන් සේ ලෙස සැළකූ මෙතුමා, හිරුට සොහොයුරා කියාද, සඳට සොහොයුරිය කියා ද ඇමතුවා.
kaulupiyanpatha.blogspot.com
සොබා දහමත් සමඟ මෙතුමා ගේ තිබූ අන්‍යොන්‍යය සම්බන්ධය ජනප්‍රවාදයේ ද අපිට දකින්න පුළුවන්. දවසක් ප්‍රැන්සිස් මුනිතුමා තමාගේ සොයුරන් පිරිසක් සමඟ ගමන් කරන විට එක්තරා ස්ථානයක පාර දෙපස ගස්වල කුරුල්ලන් රොක් වී තිබෙනවා. එවිට එතුමා "මා, මගේ කුරුළු සොයුරියන්ට දේශනා කර එනතුරු සිටින්න" යැයි තම සොයුරන්ට කියා තිබෙනවා. ඔහුගේ දේශනාව අවස්ථාවේ එක කුරුල්ලෙක් වත් අහකට පියඹා ගොස් නැතැයි කියවෙනවා. බොහෝ විට අපට හමුවන ප්‍රැන්සිස් මුනිතුමා ගේ පින්තූර වල කුරුල්ලෙක් දක්නට ලැබෙනවා.
තවත් ජනප්‍රවාදයක දැක්වෙන්නේ ප්‍රැන්සිස් මුනිතුමා ගුබ්බියෝ හී ප්‍රදේශවාසින් වෘක උවදුරකින් මුදා ගැනීමයි. මෙම ප්‍රදේශයේ සිටි වෘකයෙකු මිනිසුන් මෙන්ම සතුන් ද දඩයම් කරමින් මුළු ප්‍රදේශයම බිය වද්දවා තිබෙනවා. මෙහි වැසියන් ගැන දුක සිතී, ප්‍රැන්සිස් මුනිතුමා වෘකයා සොයා කඳුකරයට ගමන් කරනවා. වෘකයා දකින විට බිය වන එතුමා ගේ සොයුරන් පලා යන අතර, එතුමා පමණක් ඉතිරි වනවා. ඉන්පසු එතුමා කුරුසියේ ලකුන සටහන් කර, තමා වෙතට එන ලෙස වෘකයාට අණ කරනවා. ඉතා කීකරු අන්දමින් වෘකයා ප්‍රැන්සිස් මුනිතුමා ගේ දෙපා මුලට පැමිණෙනවා. "සහෝදර වෘකයා, ඔබ මේ පළාතට ලොකු විනාශයක් වගේම, ලොකු පාපයක් කර තිබෙනවා. මේ මිනිසුන් ඔබව පිළිකුල් කරනවා වගේම, ඔබට ශාප කරනවා. නමුත්, මට, ඔබ සහ මේ මිනිසුන් අතර සාමය ඇති කිරීමට අවශ්‍යයයි." යි පවසා වෘකයාව, පුදුමයෙන් බලා ඉන්න මිනිසුන් අතරට ගෙන යනවා. ඉන්පසු වෘකයා මේ විනාශයන් කළේ බඩගින්න නිසා බව කියා, මිනිස්සුන්ට, සෑම දිනකම වෘකයාට ආහාර ලබාදිය යුතු බවටත්, ඊට පිළිතුරු ලෙස වෘකයා කිසිවෙකුටත් කරදරයක් නොකළ යුත් බවටත් දෙපාර්ශවය අතර ගිවිසුමක් ඇති කරනවා. මේ ආකාරයට ප්‍රැන්සිස් මුනිතුමා ගුබ්බියෝ හී වෘක භීතිය දුරු කරනවා.
1979 වසරේ නොවැම්බර් මස 29 දින භාග්‍යවන්ත දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින්, ශු. ප්‍රැන්සිස් මුනිතුමාව සොබා දහමේ සාන්තුවරයා ලෙස නම් කළා.

1224 වසරේ අගෝස්තු මස පුදුම සිද්ධියක් සිදුවුනා. රාත්‍රියේ ප්‍රැන්සිස් මුනිතුමා යාච්ඤා කරමින් ඉන්න විට, ජේසුස් වහන්සේ ගේ ශ්‍රී වන කැළැල් ඔහුගේ ශරීරයේ ඇතිවුනා. එතුමා මෙය තමා ගේ ජීවිතයේ ලැබූ විශාල වරප්‍රසාදයක් ලෙස සැළකුවා.
තම මුළු දිවියම දෙවිඳුන් ට කැප කළ මෙතුමා 45 වන වියේදී, එනම් 1226 වසරේ ඔක්තෝබර් මස 3 වන සෙනසුරාදා දිනයේ තම සොහොයුරන් ගේ ස්තෝත්‍ර ගාවිනා මැද ස්වර්ගස්ථ වුනා. මෙතුමා ගේ මරණයෙන් වසර දෙකකට පසු මෙතුමාව ශුද්ධවරයට එසවූ අතර, එතුමා ගේ මංගල්‍යය ඔක්තෝබර් මස 04 වන දින සමරනු ලැබේ.
ශු. ප්‍රැන්සිස් මුනිතුමා ගේ සාම යැදුම
ස්වාමිනි, මා ඔබගේ සාමයේ උපකරණයක් කළ මැනව.
වෛරය ඇති තැනට ප්‍රේමයත්,
වේදනාව ඇති තැනට සමාවත්,
අවිශ්වාසය රජයන තැනට විශ්වාසයත්,
බලාපොරොත්තුව නැති තැනට බලාපොරොත්තුවත්,
දුක ඇති තැනට ප්‍රීතියත්,
අඳුර රජයන තැනට ආලෝකයත්,
මා මඟින් ගෙන ගිය මැනව.
දිව්‍ය ස්වාමිනි, ස්නසනු ලබන්නට වඩා සනසන්නට ද,
තේරුම් ගනු ලබන්නට වඩා තේරුම් ගන්නට ද,
ප්‍රේම කරනු ලබන්නට වඩා ප්‍රේම කරන්නට ද,
මට පිහිට වුව මැනව.
මන්ද,
කමාව දීමෙන් කමාව ලබා ගැනීමත්,
මරණයෙන් සදාතන ජීවිතයත් උරුම වන බැවිනි.
මූලාශ්‍ර:
- සුරලොව දිනුවෝ, නිර්මාල් මධුෂංක, 2006.
- "Francis of Assisi, Saint." Encyclopædia Britannica. Encyclopædia Britannica Ultimate Reference Suite. Chicago: Encyclopædia Britannica, 2011.
- http://en.wikipedia.org/wiki/Francis_of_Assisi
- http://www.catholic.org/saints/saint.php?saint_id=50
- http://www.newadvent.org/cathen/06221a.htm
ප.ලි: සියළුම ඦායාරූප ගනු ලැබුවේ Google Search මඟිනි.
.jpg)



