Saturday, 28 November 2015

ආගමන මල් කළඹ




ජනවාරි 01 වෙනිදා පටන් ගෙන දෙසැම්බර් 31 අවසන් වන වර්ෂයට අමතරව කතෝලිකයන්ට තවත් වර්ෂයක් තිබෙනවා. ඒ වර්ෂයට අපි කියනවා "ජනවන්දනා වර්ෂය" කියලා. මේ ගැන වැඩි විස්තර මෙතැනින් දැනගන්න පුළුවන්. අද මම කතා කරන්න යන්නේ මේ ජනවන්දනා වර්ෂය ආරම්භයේ භාවිතා කරන විශේෂ දෙයක් පිළිබඳව. මම පෙර සඳහන් කළ ලිපිය කියෙව්වා නම් ඔබ දැනගන්න ඇති, ජනවන්දනා වර්ෂය ආරම්භ වන්නේ ආගමන සමයෙන් කියලා. මේ ආගමන සමය නත්තල දක්වා සති 4ක් පුරාවට දිව යනවා. මේ එක් එක් සතියේ සහ නත්තලේ විශේෂත්වය පෙන්වන්න යොදා ගන්න දෙය තමයි "ආගමන මල් කළඹ."

මම මුලින්ම මෙහි සැකසුම ගැන කතා කරන්නම්. මෙය කොළ පැහැයෙන් සරසන ලද රවුමක්. මෙම රවුමේ ඉටිපන්දම් 4 ක් ද, මැද එක ඉටිපන්දමක් ද හැටියට ඉටිපන්දම් 5 ක් සවි කර තිබෙනවා. මැද ඉටිපන්දම සුදු පැහැයෙනුත්, අනෙකුත් ඉටිපන්දම්, දම් පැහැති 3 ක් ද, රෝස පැහැති එකක් ද වශයෙන් සමන්විත වෙනවා. මේ ඉටිපන්දම් ඉරිදාවල් 4 දීත්, නත්තල් දිනයේ ත් දල්වනවා.

දැන් බලමු මොනවාද මෙහි තිබෙන විශේෂතා වගේම එක එක දිනයේද දල්වන්නේ මොන ඉටිපන්දම ද කියලා.

1 වන ඉරිදා (දම්) - දිවැසිවර ඉටිපහන හෝ බලාපොරොත්තුවේ ඉටිපහන

දෙවියන් වහන්සේ විශ්වාසවන්ත නිසා අපට උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තබා ගන්න පුළුවන්. උන්වහන්සේ අපට දුන් පොරොන්දු ඉෂ්ඨ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. (රෝම 15: 12-13)

2 වන ඉරිදා (දම්) - බෙත්ලෙහෙම් ඉටිපහන හෝ සූදානමේ ඉටිපහන (ආදරයේ ඉටිපහන)

බෙත්ලෙහෙමේ උපත ලබන ගැලවුම්කරු ගැන දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව උන්වහන්සේ ඉෂ්ඨ කළා. (ලූක් 3: 4-6)

3 වන ඉරිදා (රෝස) - එඬේර ඉටිපහන හෝ ප්‍රීතියේ ඉටිපහන

දේවදූතයන් ප්‍රීතියේ පණිවුඩය ප්‍රකාශ කළා. (ලූක් 2: 7-15)

4 වන ඉරිදා (දම්) - දේවදූත ඉටිපහන හෝ සාමයේ ඉටිපහන

දේවදූතයන් ගැලවුම්කරුවාණන් ගේ පැමිණීම ප්‍රකාශ කළා. අපට ඇති ආදරය නිසා අපව පාපයෙන් මුදව ගන්න ගැලවුම්කරු පැමිණියා. (ජුවාම් 3: 16-17)

නත්තල් දින (සුදු) - ක්‍රිස්තු ඉටිපහන

පිවිතුරු බවේ සළකුණ වන ක්‍රිස්තු තුමන්වද, අපේ පාපි ජීවිත පිරිසිඳු කරන්නට උන්වහන්සේ ගේ පැමිණීම ද සිහි කරනවා. (ජුවාම් 1: 29)


එමෙන්ම රවුම් හැඩය මඟින් දෙවියන් වහන්සේ ගේ සදාතනික බව ද, ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපට පොරොන්දු වූ සදාතනික ජීවිතයද, හරිත වර්ණයෙන් ජීවිතයද නිරූපණය වෙනවා.

අද දිනයෙන් (නොවැම්බර් 29 ඉරිදා) ආරම්භ වෙන ආගමන සමයේ, ඔබ කතෝලික දෙව්මැදුරක් තුළට ගියොත් ඔබට මේ ආගමන මල් කළඹ දැකගත හැකි වෙනවා.


Wednesday, 13 May 2015

ටියුරිනයේ ශ්‍රී සළුව

https://www.physics.smu.edu/pseudo/Shroud/shroud.jpg

  අපි දැන් සිටින්නේ උත්ථාන සමයෙයි. ක්‍රිස්තුස් වහන්සේ ගේ උත්ථානයත් සමඟ බැඳී පවතින මැදපෙරදිග සහ යුරෝපයේ  සියවස් ගණනාවක සිට ස්ථාන කිහිපයක තබා තිබූ, අද වන විට ඉතාලියේ ටියුරින් නුවර ආසන දෙව් මැදූරේ තැන්පත් කර ඇති ඇණගැසුම් කෑ පුද්ගලයෙකුගේ රූපය සටහන් වී ඇති දිග සළුව ගැනයි මේ ලිපිය.

මොකද්ද මේ සළුව? කාවද මෙයින් ඔතා තිබුනේ? 

        කාලයක පටන්ම මේ සළුව ගැන විවිධ මතිමතාන්තර සමාජයේ ඇතිවුණ අතර විද්‍යාඥයින්, ඡායාරූප ශිල්පීන්, දේවධර්මාචාර්‍ය වරුන් ආදී මෙකී නොකී බොහෝ දෙනා මේ ගැන පරීක්ෂණ පවත්වා විවිධ අදහස් ප්‍රකාශ කර තිබේ. විද්‍යාඥයින්ට පවා මේ ගැන හරිහැටි පැහැදිලි කිරීමක් තවමත් කර ගැනීමට නොහැකිව තිබෙන අතර එක් දෙයක් පමණක් මොවුන් ස්ථීර වශයෙන්ම හඳුනාගෙන තිබේ. එනම් මෙම සළුව මත තින්ත හෝ පින්සල් පහරක් සටහන්ව නොමැති බවයි. 

මෙම ශ්‍රී සළුව ඉතාලියේ ටියුරින් නුවරට ආවේ කොහොමද කියලා පැනයක් නඟින්න පුළුවන්. මෙහි වාර්තාගත ඉතිහාසය අපට සොයාගන්න පුළුවන් 14 වන සියවසෙන් පසුව වුවත්, ඓ්‍යතිහාසික, විද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක පරීක්ෂණ මඟින් මෙහි සැඟවුණ ඉතිහාසය පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන්. ජෙරුසලමේ තිබූ මෙය එඩෙස්සා නුවරටත් (උර්ගා, තුර්කිය), එතැනින් කොන්ස්තන්තිනෝපලයේත්  (ඉස්තාන්බුල්), ප්‍රංශය, ෂොම්බරි නුවර සහ අවසානයේ අද වන විට ඉතාලියේ ටියුරින් නුවර ආසන දෙව්මැදූරේ තැන්පත් කර ඇත.


 
        මීටර් 4.42 ක් දිග සහ මිටර 1.13 ක් පළල මෙම සළුව බොහෝ අය විශ්වාස කරන්නේ ජේසුස් වහන්සේව ගල්ලෙනෙහි තැන්පත් කරන්නට යොදාගත් සළුව කියායි. සියවසක් පමණ කාලයක් පුරාවට සිදූකල විවිධ පරීක්ෂණ මෙය යම්තාක් දූරට සනාථ කරවන බවටද කෙනෙක්ට කිව හැක. කෙසේ හෝ මෙතෙක් සිදූකළ පරීක්ෂණ වලින් අනාවරණය වන දෑ කිහිපයක් මා මෙහි සඳහන් කරන්නම්.

මෙය චිත්‍රයක් නොවේ.

මෙහි ඇති negative රූපය මෙම රෙදි කඩෙහි නිර්මාණය වී ඇත්තේ negative සහ positive රූප අතර වෙනස සොයා ගැනීමට සියවස් ගණනාවකට පෙර නිසා මෙය මනුෂ්‍යයෙකුගේ නිර්මාණයක් විය නොහැක.

මෙහි ඇති මනුෂ්‍ය රූපය negative ඡායාරූපයක් ලෙස සටහන් වී ඇතත්, මෙහි ඇති ලේ පැල්ලම් සාමාන්‍යය ලෙස සටහන් වී ඇත්තේ කෙලින්ම සළුව මත වැදීම නිසයි.

මෙය මෘත ශරීරයක් මඟින් නිර්මාණය වී ඇතත් එම මෘත ශරීරය දිරා ගිය බවට කිසිඳු සලකුණක් එහි සටහන් වි නැත.

අත් සිදූරු කර ඇත්තේ අල්ල තුලින් නොව ශරීර බර දරාගත හැකිවන සේ වළලූකර තුළින්ය.



අතේ සටහන් වී ඇත්තේ ඇඟිලි 4කි. වළලූකර හරහා ඇණ ගසන විට අසුවන නහර නිසා ඉබේම මාපටැඟිල්ල නැවේ. එම නිසා මාපටැඟිල්ල සළුවේ සටහන් වී නොමැත.



ඇලයේ ඇති ලේ පැල්ලම සටහන් වි ඇත්තේ මෙම පුද්ගලයා මිය ගියාට පසු ඇතිවූ තුවාලයක් නිසායි.

මෙහි සටහන් වී ඇති රුධීරය, මිනිස් රුධීරය වේ.

නවින පරිගණක තාක්ෂණය මඟින් සිදූකල පරික්ෂණ වලින් අණාවරණය වන්නේ මෙම රෙදි කඩෙහි ඇති රූපය සාමාන්‍ය චිත්‍රයක් හෝ ඡායාරූපයක් ලෙස නොව ත්‍රිමාණ ආකාරයෙන් සටහන් වී ඇති බවයි.

මෙහි තිබි සොයාගෙන ඇති පරාග වලින් සනාථ වන්නේ මෙම සළුව පලස්තීන, මැදපෙරදිග රටවල් වල තිබි ඇති බවයි. 

  මෙම කරුණු වලින් ඔබට මෙම සළුව ගැන යම් වැටහීමක් ලැබෙන්නට ඇතැයි සිතමි. ඒ වගේම මෙහි සටහන් වි ඇති සළකුණු වගේම මෙම රූපය අයිති පුද්ගලයා විඳි දූක් වේදනා පිළිබඳව සිදූකර ඇති පරීක්ෂණ වලින් අපට යම්කිසි නිඟමනයකට පැමිණිය හැකියි.

මෙහි සටහන් වී ඇති සළකුණු වර්ග 4ක් දැකිය හැකියි. ඒවා නම් මෙසේයි.

පිළිස්සුම් සළකුණු 




මෙම සළුව මත එකිනෙකට සමාන්තරව විහිදෙන තද පැහැති ඉරි දෙකක්ද, ඒවා අසල ත්‍රිකෝණාකාර සිදූරු 29ක්ද දැකිය හැකියි. මෙම සලකුණු ඇතිව තිබෙන්නේ 1532 වසරෙ§ මෙම ශ්‍රී සළුව තැන්පත් කර තිබූ ෂෝම්බරි හි දේවස්ථානයේ ඇතිවූ ගින්නෙන් මෙය තිබූ රිදී මංජුසාව උණුවී එම රිදී මෙම සළුව මත වැටීමෙනි.

ජල සලකුණු



1532 වසරෙ§ ඇති වූ ගින්න නිවීමට යොදාගත් ජලය නිසා මෙම සළකුණු ඇතිවී තිබේ.

මිනිස් රූපය



මෙම සළුව පුරා මිනිසෙකුගේ ඉදිරිපස සහ පිටුපස සම්පූර්ණයෙන් ම සටහන් වී ඇත. දූඹුරු පැහැයෙන් සටහන් වී ඇති මෙම රූපයේ සමහර තැන් තද පැහැයෙන් සහ අනෙක් තැන් ලා පැහැයෙන් සටහන් වී ඇත. තද පැහැයෙන් සටහන් වී ඇත්තේ නලල, නාසය, නිකට, පපුව ආදී සළුවට ස්පර්ශ වී තිබූ ස්ථානයි. අනෙක් ස්ථාන ලා පැහැයෙන් සටහන් වී ඇත. මෙම පුද්ගලයා සෙ.මී. 170 ට වඩා උස පුද්ගලයෙකු ලෙස සඳහන් වේ.

ලේ පැල්ලම්



මෙම සලකුණු ඇතිව තිබෙන්නේ මෙම පුද්ගලයාගේ ශරීරයේ තිබූ තුවාලයන් සෘජුවම මෙම සළුවට ස්පර්ෂ වීමෙනුයි. මෙම සලකුණු සිරුරේ නළල, බෙල්ල, අත්, පාද, දකුණු ඇලය, පිට ආදී පෙදෙස් වල දැකිය හැකිය.

මෙම සියළු කරුණු සලකා බලන විට සහ මෙම පුද්ගලයා අත් විඳි දූක් වේදනා සලකා බලන විට කතෝලිකයන් ලෙස අපිට මෙය ජේසුස් වහන්සේව ඔතා තිබූ සළුව ලෙස සිතීම වැළැක්විය නොහැක. එසේම මෙම සිරි සළුව අපට ජේසුස් වහන්සේගේ දූක් විඳීම, මරණය ගැන ඉතා හොඳ වැටහීමක් ලබාදේ. වඩාත් විශේෂිත දේ නම් මෙය අපට ජේසුස් වහන්සේගේ උත්ථානය පිළිබඳව ඇති හොඳම සාක්ෂිය වීමයි.





ආශ්‍රිත ග්‍රන්ථ:


  • දොම්. නිරන්ජන් විජේරත්න සා.බෙ.නි. පියනම, "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් ", බෙනඩිකාන ප්‍රකාශන, මොන්ටිෆානෝ, අම්පිටිය, 2001.
  • Gian Maria Zaccone, "La Sindone: Storia di una immagine", Figlie di san Paolo, Milano, 2010.
  • Lamberto Schiatti, "Le Saint Suaire", Ed. Paoline, Paris, 1983.
  • "The Turin Shroud", Cattedrale di Torino (Leaflet)

Thursday, 19 December 2013

නත්තල ආශ්‍රිත සංකේත හා විශේෂාංග

අද කතා කරන්න යන්නේ (ඇත්තටම මේක ලිව්වේ 2009 වසරේ, ඥානාර්ථ පුවත්පතේ පලවුණේ 2010 නත්තලට) නත්තල් සමයේ අපිට දකින්න ලැබෙන්න සංකේත සහ විශේෂාංග කිහිපයක් ගැනයි.  

නත්තල යනු විශ්ව මංගල්‍යයකි. ලොව පුරා කිතුණු බැතිමත්හූ ඉතා උත්කර්ෂවත් ලෙස මෙම මංගල්‍යය සමරති. වර්තමානයේදී නත්තල කිතුණු සංස්කෘතියේ හා අනෙකුන් සංස්කෘතීන්ගේ සම්මිශ්‍රණයක්ව පවතී. එමනිසා නත්තල් සමයේ භාවිතා වන නත්තල් සැරසිලි වලින් සමහරක වර්තමානයේ පවතින අරුත එහි ආරම්භක අරුතට සම්පූර්ණයෙන්ම පටහැනි අරුතක් ගෙන දෙයි. මා මෙහි උත්සාහ ගන්නේ මෙම සැරසිලි හා සංකේතයන්ගේ සමහරක ආරම්භය හා අරුත පිළිබඳ විග්‍රහයක යෙදීමටයි.


නත්තල් සීයා




නත්තල් සමයේදී නත්තල් සීයා නැතිවම බැරි අංගයකි. නත්තල් සීයාගේ නම ඇසූ පමණින් අප සිහියට නැඟෙන්නේ සාන්ත නිකුලස් මුනිතුමාවයි. 4 වන සියවසේ දී තුර්කියේ උපන්න එතුමා තම ළමා කාලයේ සිට ඉතා කීකරු, භක්තිමත් කිතුනුවෙකු විය. එසේම එතුමාගේ දෙමාපියන් මිය ගියේ එතුමාට විශාල වස්තුවක් උරුම කරමිණි. එතුමා මෙයින් දිළින්දන්ට උදව් උපකාර කිරීමට කිසිලෙසකින් පසුබට වූයේ නැත. එතුමාගේ මෙම පරිත්‍යාගශීලිභාවය නිසාම එතුමා ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්විය. නමුත් රෝමාණුවන් එතුමාව සිරගත කර නොයෙකුත් වධහිංසා පැමිණවීය. කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා රෝම අධිරාජ්‍යයා ලෙස පත්වූ පසු එතුමාට නිදහසේ දොර කවුළු විවර වුණි. කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා කිතුණුවෙකු බවට පත්වීමෙන් පසු ක්‍රි.ව. 325 දී කැඳවනු ලැබූ නිසියාවේ පළමුවන මන්ත්‍රණ සභාවට ද සාන්ත නිකුලස් මුනිතුමා සහභාගි වූ බව කියැවේ.

සාන්ත නිකුලස් මුනිතුමා කුඩා දරුවන්ට බොහෝ සේ ආදරය කළ බවද ඔවුන්ට උදව් උපකාර කළ බවද ප්‍රකට කරුණකි. එබැවින් එතුමා කුඩා දරුවන්ගේ මුණිවරයා ලෙසද, නාවිකයන්ගේ, අවිවාහක යුවතියන්ගේ, බෙහෙත් කඩ හිමියන්ගේ, බේකරි කරුවන්ගේ, සිරකරුවන්ගේ, සිවලුන්ගේ ද, සිසිලියේ, ග්‍රීසියේ සහ රුසියාවේ අරක්ගත් මුණිවරයා ලෙසද හැඳින්වේ.
සා. නිකුලස් මුනිතුමා

ඕලන්ද වැසියෝ සාන්ත නිකුලස් මුනිතුමාව ඉංග්‍රීසි බසින් ඇමතුවේ Sint Nikolaas කියාය. පසුකාලීනව මෙය Sinterklaas වී අවසානයේදී Santa Claus බවට පත්ව ඇතැයි විශ්වාස කෙරේ.

අද අප නත්තල් සීයාව දකින්නේ රතු ඇඳූමක් ඇඳගත්, සුදූ රැවුලක් ඇති, තරබාරු පුද්ගලයෙක් ලෙසටය. නමුත් සාන්ත නිකුලස් මුනිතුමාව මුල්කාලීන සිතුවම් වල දකින්න ලැබෙන්නේ කෙසඟ සිරුරක් ඇති පුද්ගලයෙක් ලෙසටය. 1809 වසරේ දී වොෂින්ටන් අර්වින් සාන්ත නිකුලස් මුනිතුමා අසු පිටින් පැමිණීම සඳහන් කර තිබේ. 1823 දී ක්ලෙමන්ට් සී. මූවර් The Night Before Christmas ලෙස ප්‍රකට A Visit from Saint Nicholas ග්‍රන්ථය රචනා කළේය. 1860 ගණන් වලදී කාටුන් ශිල්පී තෝමස් නාස්ට් මේ සියල්ලක්ම සැලකිල්ලට ගෙන අද අප දකින නත්තල් සීයාව සිතුවමට නඟන ලදී. නත්තල් සීයාව මෙතරම් වර්ණවත් ලෙස ඉදිරිපත් කළේ ඇමරිකානු ජාතික හැඩන් සන්ඩ්ලෝම් විසිනි.


නත්තල් ගස


අද පවතින පිළිගැනීම අනුව නත්තල් ගස සමාජයට එකතු වූයේ 16 වන සියවසේදී පමණ ජර්මනියෙනි. එනමුත් නත්තල් ගසේ ආරම්භය පිළිබඳ විවිධ ජනප්‍රවාද ජර්මනියෙන්ම අපට දැනගන්නට ලැබේ.

පළමුවන ජනප්‍රවාදයඃ

ජේසුතුමාගේ උපතටත් පෙර සිටම සිසිර කාලයේදී ජර්මානු වැසියන් නොයෙකුත් උත්සව අවස්ථාවන් සඳහා සදාහරිත ශාක සැරසීම කර ඇත. සාන්ත බොනිෆස් තුමා ජර්මනියේ සිටි මිෂනාරිවරයෙකි. එතුමා නත්තල් ගසේ ලක්ෂයන් 3 (ත්‍රිකෝණාකාර) ශුද්ධවූ ත්‍රීත්වයට සමාන කර තිබේ. එක් ජනප්‍රවාදයක පැවසෙන අන්දමට දෙවියෙකු ලෙස ඕක් ගසට වැඳූම් පිඳූම් කරන පිරිසක් ළමයෙකු බිලිපූජා කිරීමට යන අවස්ථාවේදී ඒ පිළිබඳව සාන්ත බොනිෆස් තුමාට දැනගන්නට ලැබී ඇත. දරුවාව බේරා ලැනීමට බොනිෆස් මුනිතුමා එම ඕක් ගස කපා බිම හෙලා ඇත. ගස බිම පතිත වෙත්ම එයින් සුදූ ලොම් සහිත අතු ඇති ගසක් මතුවී ඇති අතර බොනිෆස් මුනිතුමා මෙය ඇදහිල්ලේ සංඛේතය ලෙස හඳූන්වා ඇත. මෙමගින් සංඛේතවත් වන්නේ අසත්‍ය දෙවිවරුන් වෙනුවට කිතුදහම පැමිණි ආකාරයයි.

දෙවන ජනප්‍රවාදයඃ

16 වන සියවසේදී මාර්ටින් ලුතර් නත්තල් දින සැඳෑ මෙහෙයකින් අනතුරුව නිවස බලා එමින් සිටියදී සදාහරිත ශාක අතුරින් ගලා ආ තරු එළිය දැක පුදූමයට පත් වී ඇත. එම ආලෝකය දැකීමෙන් ජේසුස් වහන්සේව ඔහුගේ සිතට පැමිණ තිබේ. ඔහු එම ගසෙන් අත්තක් නිවසට ගෙන ගොස් ඔහු දූටු එම චමත්කාර දර්ශනය පුනරාවර්ජනය කිරීමට, එහි දැල්වූ ඉටිපහන් සවි කළ බව සඳහන් වේ.

තෙවන ජනප්‍රවාදයඃ

ජර්මනියේ සෑම වසරකම දෙසැම්බර් 24 වන දින රඟදක්වන ලද ආදම් සහ ඒව පිළිබඳ නාට්‍යයක පාරාදීසයේ ගස ලෙස රංග භාණ්ඩයක් තිබී ඇත. සිසිරයේදී ඇපල් ගස් වල ඵල හා පත්‍ර හට නොගන්නා නිසා සදාහරිත ශාකවල ඇපල් ගෙඩි එල්ලා ඇත. පසුකාලීනව ඇපල් වෙනුවට දිව්‍ය සත්ප්‍රසාදය සංකේතවත් කිරීමට වේෆර්ස් එල්ලා ඇත. කල්යත්ම වේෆර්ස් වෙනුවට මේවායේ රසකැවිලි එල්ලා ඇත.

සිව්වන ජනප්‍රවාදයඃ

1800 ගණන්වලදී රෙපරමාදූ සභාව, ගස කුරුස ගස ලෙසටත්, සදාහරිත ශාක සදාකාලික ජීවිතයටත් සමාන කළහ. ඔවුන් ෂාරොන්හි රෝස සිහිවන්නට එය රෝස මලින් සරසා, ජේසුස් වහන්සේ ලෝකයේ ආලෝකය බව පිළිඹිබු කිරීමට මුදූනේ දැල්වූ ඉටිපහනක් සවිකර තිබේ.


ගවලෙන


ගවලෙන් සම්ප්‍රදාය ඇතිකිරීමට මුල්වූවායි සැලකෙන්නේ අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමායි. එතුමා ශුද්ධෝත්තම පියතුමාගේද අවසර ගෙන ජීවමාන මිනිසුන් සහ සතුන් යොදාගෙන 1223 නත්තල් රැයේ ඉතාලියේ එතුමාගේ දේවස්ථානය පිටත පළමු ගවලෙන නිර්මාණය කළේය. මෙම අදහස ඉතා ඉක්මණින් ව්‍යාප්ත විය. සමහර රටවල ගවලෙන සඳහා ලී කැටයම් පවා උපයෝගි කොට ගත්හ. නත්තල් දින සන්ධ්‍යාව වනතුරු ජේසු බිළිඳාව ගවලෙනේ නොතැබූ අතර රජතුන් කට්ටුව ගවලෙනේ තබන ලද්දේ රජතුන් කට්ටුවේ (ජේසු බිළිඳූන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ) මංගල්‍යය දින දීය.


දේවදූතයෝ


දෙවියන් වහන්සේ ගැලවුම්කරුවාගේ පැමිණීම ප්‍රකාශ කිරීමට මෙන්ම ජේසු වහන්සේගේ උපත දැනුම් දීමට ද දේවදූතයන් උපයෝගි කොට ගත් සේක. මරිය තුමියව ජේසුස් වහන්සේගේ මව වීමට තෝරා ගත් බව දැනුම් දීමට ගාබ්‍රියෙල් දේවදූතයාව දෙවියන් වහන්සේ විසින් එවන ලද සේක (ලූක් 1/26-38). තණ මිටියාවතේ සිටි එඬේරුන්ට ජේසුස් වහන්සේගේ උපත දැනුම් දීමට දේවදූතයන් දර්ශනය විය (ලූක් 2/9-16).

17 වන සියවසේදී දේවදූතයන්ව ගවලෙනට හඳූන්වා දෙන ලද්දේ දකුණු ඉතාලියෙනි. පසු කාලීනව දේවදූතයන් සැරසිල්ලක් බවට පත්වූ අතර දේවදූතයන් අපේ රැකවළුන් බවත් ඔවුන් සාමය, සතුට සහ සහජීවනය අප වෙත ගෙන එන බවත් ජනතාව විශ්වාස කිරීමට පටන් ගත්හ.


තාරකාව


නත්තල් සමයේදී අප, තරුව සැරසිල්ලක් ලෙස භාවිතා කරන්නේ බෙත්ලෙහෙමේ දර්ශනය වෙමින් ශාස්ත්‍රවන්තයන්ට මඟපෙන්වූ එම ඓතිහාසික තාරකාව සිහි කිරීමටය. සමහරු මෙම තාරකාව වල්ගා තරුවක් ලෙසද, තවත් සමහරු ග්‍රහලෝක දෙකක් එකට පෙනීමක් ලෙසත් හඳූන්වති. න්‍යායාත්මකව මෙය ක්‍රි. පූ. 7 දී පමණ සිදූවූ බව සොයාගෙන තිබේ.

නත්තල් ගසේ මුදූනේ බෙත්ලෙහෙමේ තාරකාව සිහි කිරීමට තරුවකින් සරසනු ලැබේ.


සීනුව


මධ්‍යතන යුගයේදී ජේසුස් වහන්සේගේ පැමිණීම පිළිබඳව නපුරු ආත්මයන්ට අනතුරු ඇඟවීමට මධ්‍යම රාත්‍රිය වනතුරු ඉතා උස් සංඛ්‍යාතයන්ගේ සීනු නාද කළ බව කියවේ. විශාල ශබ්දයක් මඟින් නපුරු ආත්ම පළවා හැරිය හැකි බවට එකල මතයක් පැවතිණි.

නත්තල් සීයාගේ කරත්තයේ බැඳි පිණිමුවන්ගේ ගෙලෙහි ද මිහිරි නද දෙන සීනු තිබූ බව ජනප්‍රවාදයේ දැක්වේ.

එසේම සීනුව දේවස්ථාන මෙහෙයන් පීළිබඳව දැනුම් දීමට මෙන්ම නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවේ දී ජේසුස් වහන්සේගේ උපත දැනුම් දීමට ද යොදා ගැනේ.


ඉටිපහන්


දැල්වූ ඉටිපහන, කිතුණුවන්ට ජේසුස් වහන්සේ ලෝකයේ ආලෝකය බව පසක් කර දෙයි. අදටත් යුරෝපයේ ජනතාව ඔවුන්ගේ ජනේල වල හා නත්තල් ගසේ ඉටිපහන් රැඳවීම කරනු ලබයි.

කිතුණුවන් ආගමන කාලයේදී ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිහි කිරීමට ඉටිපහන් යොදා ගනී (ආගමන මල් කළඹ).



හෝලි අතු


හෝලි ශාක ලෝකයේ බොහෝ ප්‍රදේශයන් හී දක්නට ලැබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ශීත සෘතුවේදී පවා මෙම ශාකය කොළ පැහැයෙන් පැවතීමයි. මේ නිසා මෙම ශාකය සැරසිළි සඳහා භාවිතා කර ඇත. හෝලි අතු යොදා සාදන ලද වඩම ඒවායේ පත්‍රයන්හි ඉඳිකටු වැනි කටු ඇති නිසා ජේසුස් වහන්සේගේ කටු ඔටුන්න ලෙසත්, රත් පැහැති ඵල ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරය ලෙසත් නිරූපණය වේ. මෙම නිසා හෝලි අතු එහි ඵල සමඟ ගත් විට ජේසුස් වහන්සේගේ දූක් විඳීම සිහි ගන්වයි.


සරසන ලද සදාහරිත රවුම


නත්තල් සමයේදී මෙය සැරසිල්ලක් ලෙස බොහෝ නිවෙස්වල ප්‍රධාන දොරටුවේ එල්ලා තිබෙනු දක්නට පුළුවනි. යුරෝපය ආශ්‍රිතව මෙම සැරසිල්ල සඳහා භාවිතා කරනුයේ හෝලි අතුය. ඈත අතීතයේදී සමහර ජනකොටස් සිසිරයේදී නැවත හිරු උදාවේවා යයි පතමින් මෙවැනි සදාහරිත රවුම් වලට වැඳූම් පිඳූම් කළ බව සඳහන් වේ. ජේසුස් වහන්සේ ගේ කටු ඔටුන්න ද හෝලි අතු වලින් නිර්මාණය කළ බවට ද සමහරු මත පළ කරති. ඔවුන් තවදූරටත් සඳහන් කරන්නේ මෙම ඵල මුලදී සුදූ පැහැයෙන් තිබුණ මුත් ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරය නිසා රතු පැහැයට හැරුණු බවයි.


සීනි කෙවිට


අතීතයේදී දෙමාපියන් තම දරුවන්ට සීනි වලින් සාදන ලද දණ්ඩක් ආකාරයේ රස කැවිල්ලක් දී ඇත. 1670 දී පමණ ජර්මානු කන්තාරු කණ්ඩායමක ප්‍රධානියෙක් මෙම සීනි දඬු එඬේරෙකුගේ කෙවිටක් ආකාරයට නවා නත්තල් මෙහෙය සඳහා පැමිණෙන දරුවන්ට දී ඇත. පසුව මෙය යුරෝපය පුරා ව්‍යාප්ත වූ අතර රෝසමලින් සරසන ලද සීනි කෙවිටි නිවෙස් හි සැරසිලි ලෙස භාවිතා වී ඇත. වර්ශ 1900 දී පමණ මෙයට එහි සාම්ප්‍රදායික රතු ඉරි සහ පෙපර්මින්ට් රසය එක් වී ඇත.

සීනි කෙවිටේ ආරම්භය පිළිබඳව තවත් ජනප්‍රවාදයක් ඇත. මෙම ජනප්‍රවාදයට අනුව 19 වන සියවසේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ රසකැවිලි නිෂ්පාදකයෙකුට නත්තලේ සැබෑ අරුත දෙන රසකැවිල්ලක් හඳූන්වා දීමට අවශ්‍ය වී මෙම සීනි කෙවිට නිර්මාණය කර ඇත.

මෙහි දක්නට ලැබෙන පැහැදිළිම සංකේතය වන්නේ මෙහි හැඩයයි. මෙම සීනි කෙවිට අනෙක් අතට හැරවූ විට ඉංගී්‍රසි හෝඩියේ ‘J’ අක්ෂරයේ හැඩය ගනී. එයින් නිරූපණය වන්නේ ‘Jesus’ නොහොත් ජේසුස් වහන්සේ බවයි. මෙහි සාමාන්‍ය හැඩය එඬේරෙකුගේ යෂ්ඨිය මෙන් වේ. ජේසුස් වහන්සේ කීපවරක්ම තමා බැටළු එඬේරාණන් බව ප්‍රකාශ කළ සේක. එසේම ජේසුස් වහන්සේගේ උපත පළමුවෙන්ම සැළවූයේ එඬේරුන් පිරිසකටයි.

මෙහි ඇති තද ගතිය ජේසුස් වහන්සේ ගැලවීමේ පර්වතය බව අපට පසක් කරයි. මෙහි ඇති සුදූ පැහැය ජේසුස් වහන්සේ කන්‍යාවියකගෙන් උපත ලැබූ බවද ඔවුන් වහන්සේගේ පිවිතුරු දිවි පෙවෙතද නිරූපණය කරයි. තවද ඔවුන් වහන්සේගේ රුධීරය මඟින් අප ජීවිතද හිම මෙන් සුදූ කර ඇත (එළිදරව්ව 7/14, යෙසායා 1/18).

මෙහි මුල් ඉරි තුන මඟින් ශුද්ධවූ ත්‍රීත්වය සංකේතවත් කරන අතර රතු ඉරි තුන මඟින් ජේසුස් වහන්සේ මිනිස් සංහතිය වෙනුවෙන් හෙළූ රුධීරය සංකේතවත් කරයි.

සමහර විට කොළ පැහැති ඉරක් සීනි කෙවිටේ දක්නට ලැබේ. මෙයින් අදහස් වන්නේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගෙන් අපට ලැබුණු තිළීණය බවයි.

මෙම අදහස් නිසා සීනි කෙවිට හුදෙක් රසකැවිල්ලක් පමණක්ම නොව එය කෙටි ධර්මෝපදේශයක්ද වේ.


රතු මේස් කකුල


සාන්ත නිකුලස් මුනිතුමා අසරණව සිටි යුවතියන් තිදෙනෙකුට දායාදය ලෙස මුදල් දූන් බව සඳහන් වේ. ඉතා දිළිඳූ නිවසක වාසය කළ ඔවුන් සිසිරයේදී ඔවුන්ගේ ඇඳූම් වියළා ගනු ලැබුවේ දර උදූනට ඉහලින් ඒවා එල්ලා තැබීමෙනි. සාන්ත නිකුලස් මුනිතුමාගේ මෙම තිළිණය එතුමා මෙම නිවසේ දූම් කවුළුව තුළින් දැමූ විට එය වියලෙන්නට තබා තිබූ මේස් කකුලකට වැටී ඇත. එබැවින් තනි මේස් කකුල තෑගි දෙන මල්ලක් බවට පත්ව අද වන විට සැරසිල්ලක් බවට පත්වී ඇත.


නත්තල් සුභපැතුම් පත්


ප්‍රථම නත්තල් සුභ පැතුම් පත
පළමුවෙන්ම නත්තල් සුභපැතුම් පතක් දී ඇතැයි සැළකෙන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රීමත් හෙන්රි කෝල් ය. පළමු නත්තල් සුභපැතුම් පත නිර්මාණය කර ඇත්තේ 1843 වසරේදී ජේ. සී. හෝර්ස්ලි විසින්ය. මෙම පළමු නිර්මාණයේ කාඩ්පත් දහසක් පමණ බ්‍රිතාන්‍යය තුළ අලෙවි වූ බව කියවේ.

ඇමරිකාවේ පළමු වරට නත්තල් කාඩ්පතක් 1875 වසරේදී ලුවිස් ප්‍රාන්ග් විසින් මුද්‍රණය කරන ලදී. ඔහු ජාතික වශයෙන් නත්තල් නිර්මාණ තරඟයක් පවත්වා එහි නිර්මාණ කාඩ්පත් සඳහා යොදාගෙන තිබේ.

නත්තල් කාඩ්පත් තම හිතෛශීන්ට ආදරය ප්‍රකාශ කරන ක්‍රමයක් ලෙස දැක්විය හැක.




ඉහත සඳහන් කළ විග්‍රහය අනුව නත්තල නැමති අසහාය සිදූවීමේ සැබෑ අරුත විදහා දැක්වීමට එය ආශ්‍රිත සංකේත සහ විශේෂාංග සමත්ව ඇත. නමුත් වත්මන් සමාජයේ බොහෝ දූරට මෙම සංකේත සහ විශේෂාංග වාණිජත්වයට ගොදූරු වී ඇත. එමනිසා නත්තලේ උතුම් පණිවුඩය සහ සාරධර්ම කියාදෙන මෙම සංකේත සහ විශේෂාංග ඉදිරි පරපුර වෙනුවෙන් ඒවායේ සැබෑ අරුත සමඟ රැක ගැනීම අප සැමගේ යුතුකමකි, වගකීමකි.


*මේ සඳහා තොරතුරු සොයාගත්තේ පොත පතින් සහ අන්තර්ජාලයෙනි. පිංතූර සියල්ලම Google Image වෙතිනි.

Wednesday, 4 December 2013

ඇයි මේ පාට පාට?

පින්තූරය ගත්තේ මෙතනින්


අද කියන්න යන්නේ පාට පාට කතාවක්. මොකද මේ කාලෙකට කොළ පාට, තවත් කාලෙකට දම් පාට, සමහර දවස් වලට රතු පාට, තවත් සමහර දවස් වලට සුදු පාට? මේ ප්‍රශ්න සේරටම උත්තර මේ ලිපිය කියවලා ඉවර වෙද්දී ලැබෙයි. එහෙම නොතේරුණ තැනක් තිබ්බොත් අහලා පැහැදිළි කරගන්න පුළුවන්.

දැන් කට්ටිය බලනවා ඇති මොනවාද මේ කියවන්නේ කියලා. මම මේ කතා කරන්න යන්නේ පසුගිය ඉරුදින ආරම්භ වුන කතෝලික ජනවන්දනා වසර ගැනයි. තවත් විදිහකට කියනවා නම්, කතෝලික ආගමේ වත් පිළිවෙත් වසරක් තුළ බෙදී යන ආකාරය.

අපේ සාමාන්‍යය එදිනෙදා වසරක සෘතු 4 ක් (ශ්‍රී ලංකාවේ නොමැති වුවත්), මාස 12 ක්, සති 52 ක්, දින 365 ක්, නිවාඩු, විශේෂ උත්සව දින, සිහිවටන/ සැමරුම් දින වලින් සමන්විත වෙනවා වගේ, කතෝලික ජනවන්දනා වසරේත් මේ වගේ විශේෂාංගයන් දක්නට ලැබෙනවා.

ජනවන්දනා වසර ආගමන සමය, නත්තල් සමය, චතාරික සමය, පාස්කු සමය සහ සාමාන්‍යය සමය ලෙස කොටස් වලට බෙදෙනවා. ජනවන්දනා වසර ආරම්භ වන්නේ ආගමන සමයේ පළවන ඉරිදායි (මෙම වසරේ එය පසුගිය ඉරිදා දිනයට යෙදී තිබුණා). මෙසේ ආරම්භ වන වසර අවසන් වන්නේ ක්‍රිස්තු රාජ මංගල්‍යයත් සමඟයි.

කතෝලික ජනවන්දනා වසර මේ ආකාරයට සකස් කර තිබෙන්නේ ජේසුස් වහන්සේ ගේ ජීවිතය, එනම් උන්වහන්සේ ගේ පිළිසිඳ ගැනීම, උපතේ සිට උත්ථාන වීම දක්වා සහ උන්වහන්සේ ගේ නැවත පැමිණීම දක්වා අවස්ථා හොඳින් තේරුම් ගැනීමටයි. 

ජනවන්දනා වසර විසින් දිනයට නියමිත බයිබල් කියවීම ලබාදෙන අතර, ඒ ඒ සමයේ ඇතුලත් වන විශේෂ මංගල දිනයන් සහ සිහිවටන දිනයන් ද සඳහන් කරනවා. ජනවන්දනා වසර අපට සන්නිවේදනය කරන තව දෙයක් වන්නේ ඒ ඒ ජනවන්දනා මෙහෙයන් හීදී පියතුමා පැළඳිය යුතු පූජක ඇඳුම් වල වර්ණයන්. එක් එක් කාලයන් හී වර්ණයන් මෙසේයි. ආගමන සමය - දම්, නත්තල් සමය - සුදු/රත්‍රන්, චතාරික සමය- දම්, පාස්කු සමය - සුදු/රත්‍රන් සහ සාමාන්‍යය සමය - කොළ. ඊට අමතරව දිනට අදාල ශුද්ධවන්තයාට අනුව, එනම් සාමාන්‍යය ශුද්ධවන්තයනට සුදු පැහැයද, ප්‍රාණපරිත්‍යාගීවරුනට රතු පැහැය ලෙසද අදාල පාට වෙනස් වෙනවා.

ජනවන්දනා චක්‍රය වසර 3 කින් සමන්විත වෙනවා. වසර 'A' සමන්විත වන්නේ මැතිව් සුභාරංචියෙන් වන අතර, වසර 'B' මාක් සුභාරංචියෙන් ද, වසර 'C' ලූක් සුභාරංචියෙන් ද සමන්විත වෙනවා. මේ අතර ජුවාම් සුභාරංචිය වසර පුරාවටම ද විශේෂයෙන් පාස්කු සමයේ දී භාවිතා වෙනවා.


ආගමන සමය - Advent (දම්)


පින්තූරය ගත්තේ මෙතනින්
ජනවන්දනා වසර ආරම්භ වන්නේ සති 4 කින් සමන්විත වන මෙම ආගමන සමයෙනුයි. මෙම කාලයේ දක්නට ලැබෙන විශේෂ අංගයක් වන්නේ ඉටිපහන් 5 කින් සමන්විත වන ආගමන මල්කළඹ යි. සෑම සතියකම ඉටිපහන බැඟින් දල්වන අතර, මැද තිබෙන සුදු ඉටිපහන දල්වන්නේ නත්තල් දිනයේදී යි. 

මෙම කාලයේදී පියතුමා ගේ පූජා ඇඳුමේ වර්ණය වන්නේ දම් පැහැයයි. මෙම කාලය ජේසුස් වහන්සේ ගේ පැමිණීම සඳහා වන බලාපොරොත්තුවේ කාලයයි. ආගමන සමයේ තුන්වන ඉරුදින මෙම කාලයේ අඩක් ගෙවුණ බව හඟවන්න රෝස පැහැය භාවිතා කරනවා. රෝස පැහැයෙන් ප්‍රීතිය සංඛේතවත් කෙරෙන්නේ නත්තල සඳහා වන කාලයේ අඩක් ගෙවා නිම කර ඇති බව හැඟවීමටයි.


නත්තල් සමය - Christmas (සුදු)


පින්තූරය ගත්තේ මෙතනින්
මෙම කාලයේ ජේසුස් වහන්සේ ගේ උපත සිහි කරන අතර, ශුද්ධ වූ පවුලේ මංගල්‍යය, දේව මාතා මංගල්‍යය සහ රජතුන් කට්ටුවේ මංගල්‍යයන් ද මෙම කාලයේ සමරණු ලබනවා. මෙම කාලයේ දී දේවස්ථාන, නිවෙස්, නත්තල් සැරසිළි වලින් අලංකරණය වී ඇති බව දකින්න පුළුවන්. 

නත්තල සඳහා තෝරාගෙන තිබෙන්නේ සුදු පැහැයයි. ඒ වගේම සුදු පැහැයෙන් නව උපතක පිවිතුරු භාවය සංඛේතවත් කෙරෙනවා.


සාමාන්‍යය සමය - Ordinary Time (කොළ)


පින්තූරය ගත්තේ මෙතනින්
නත්තල් සමය සහ චතාරික සමය අතර කාලය තුළ දිව්‍ය පූජාවේ කියවීම් සඳහා යොදා ගන්නේ අපෝස්තුළු වරුන් තෝරා ගැනීම, ඉගැන්වීම්, සුවකිරීම් වැනි ජේසුස් වහන්සේ ගේ ප්‍රසිද්ධ ජීවිතයේ මුල් සිදුවීම්. අළු බදාදා ට පෙර දින අඟහරුවාදා අවසන් වන සාමාන්‍යය සමයේ පළමුවන කොටස නැවතත් පාස්කු සමයෙන් පසුව ඇරඹේ.

සාමාන්‍යය සමය වගාවේ සහ ඵල දැරීමේ කාලය වගේම තම තමාගේ විශ්වාසයේ ස්ථීර වීමේත් කාලයයි. කොළ පැහැය පරිසරයේ ජීවයේ පාටයි. මෙම ජීවයේ කාලය පුරාවටම ජේසුස් වහන්සේ ගේ ප්‍රසිද්ධ ජීවිතයේ සිදුවීම් දිව්‍ය පූජාව තුළ දී අසන්නට ලැබේ. 

සාමාන්‍යය සමයේ කොටස් 2 න් දිගම කොටස වන්නේ පාස්කු සමයෙන් පසුව ඇරඹෙන කොටසයි. එය ක්‍රිස්තු රාජ මංගල්‍යයත් සමඟ අවසන් වෙනවා. 


චතාරික සමය - Lent (දම්)


පින්තූරය ගත්තේ මෙතනින්
අළු බදාදායින් ඇරඹෙන චතාරික කාලය මහා බ්‍රහස්පතින්දා දක්වා දිව යනවා. දින 40 කින් සමන්විත චතාරිකය එක්වරු ශීලයේ සහ මර්ධන ක්‍රියාවේ කතෝලිකයන් නිරත වන කාලයක්. මෙම කාලයේ වර්ණය දම් පැහැය වන අතර කුරුසියේ පාදනමස්කාරය මෙම කාලයේ දැකිය හැකි විශේෂ අංගයක්. 

අළු බදාදා දිනයේ නළල මත අළු තවරා ගෙන කතෝලිකයන් තම පාප වලට මනස්ථාපනය වන ගමන් සිහි කරන්නේ පසින් සෑදුණු සැම දෙනෙක්ම නැවතත් පසටම හැරෙන බවයි.


ශුද්ධවූ සතිය - Holy Week


පින්තූරය ගත්තේ මෙතනින්
ශුද්ධවූ සතිය ආරම්භ වන්නේ ගොබ් ඉරුදිනෙනි. මෙම සතියේ ගොබ් ඉරුදින සහ මහා සිකුරාදා දින වර්ණය වන්නේ රතු පැහැය වන අතර මහා බ්‍රහස්පතින්දා සහ පාස්කු ඉරුදින (ආලේලූයා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව) වර්ණය වන්නේ සුදු පැහැයයි. 

මෙම සතිය තුළ ජේසුස් වහන්සේ ගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරනවා. 


පාස්කු සමය - Easter (සුදු/ රත්‍රන්)


පින්තූරය ගත්තේ මෙතනින්
දින 50 කින් සමන්විත වන පාස්කු සමය, ශුද්ධෝත්මාගමන (පෙන්තකෝස්ත) මංගල්‍යයත් සමඟ අවසන් වනවා. ඒ වගේම ජේසුස් වහන්සේ ගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය පාස්කු ඉරුදින සිට දින 40 ක් ගත වූ තැන සමරණවා. 

කතෝලික ජනවන්දනා වසරේ විශේෂිතම කාලය වන මෙම කාලය තුළ උත්ථානයෙන් පසු ජේසුස් වහන්සේ ගේ ඉගැන්වීම් පිළිබඳව අවධානය යොමු කරනවා. මෙම කාලයේ වර්ණය ලෙස සුදු හෝ රත්‍රන් පැහැය යොදා ගන්නවා.

පාස්කු සමය අවසන් කරන පෙන්තකෝස්ත මංගල දින වර්ණය වන්නේ රතු පැහැයයි. මෙම පෙන්තකෝස්ත මංගල දිනයට පසුව සාමාන්‍යය සමයේ දෙවන කොටස ආරම්භ කෙරෙනවා.


මූලාශ්‍ර:

  • http://cyberfaith.com/liturgical_year.cfm 
  • http://en.wikipedia.org/wiki/Liturgical_year

Tuesday, 6 August 2013

තුෂාරයේ අප ස්වාමි දූ


පාප්තුමා හිම වැටුන ප්‍රදේශය සළකුණු කිරීම
https://en.wikipedia.org/wiki/File:Masolino,_fondazione_di_santa_maria_maggiore.jpg

අද කතා කරන්න යන්නේ තුෂාරයේ අප ස්වාමි දූව ගැනයි. ඒ කියන්නේ ජේසුස් වහන්සේ ගේ අම්මා වන මරිය තුමිය ට කොහොමද තුෂාරයේ අප ස්වාමි දූ නැත්නම් Our Lady of Snows කියන නම හැදුනේ කියන එක.

4 වන සියවසේ සිටි රෝම වංශාධිපති ජෝන් ට සහ ඔහු ගේ බිරිඳ ට දරුවන් නොසිටි නිසා, දරුවන් බලාපොරොත්තුවෙන් මරිය තුමිය ගේ මැදිහත්කම අයැද සිටියා. ඒ වෙනුවෙන් තමන් ගේ දේපළ ද පරිත්‍යාග කරන බවට පොරොන්දු වී, ඒ දේපළ මරිය තුමිය වෙනුවෙන් කෙසේ පරිත්‍යාග කරන්නේ දැයි ලකුණක් පෙන්වන ලෙස එතුමියගෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අනුව ක්‍රි.ව. 358 අගෝස්තු 4 වන දින රාත්‍රියේ සිහිනයකින් ඔවුන් දෙපළට ද, එවකට පාප්තුමා වුණ ලිබේරියුස් පාප්තුමා ට ද (Pope Liberius) දර්ශනය වී එදින රාත්‍රියේ හිම වැටෙන ප්‍රදේශයේ දේවස්ථානයක් ගොඩනඟන ලෙස මරිය තුමිය ඉල්ලා සිටියා. මෙසේ අගෝස්තු 4-5 දෙදින අතර රෝමයේ එස්කුයිලිනේ (Esquiline) කන්දේ ප්‍රදේශයකට හිම පතනයක් සිදුවී තිබුණා. මේ වසරේ ග්‍රීෂ්ම සෘතුවයි ගෙවෙමින් තිබුණේ. 

මෙම ස්ථානයට පෙරහැරින් පැමිණි පාප්තුමා හිම වැටුණ ප්‍රදේශය සළකුණු කර එහි දේවස්ථානය ගොඩනඟන්න නියෝග කළා. ඒ අනුව ජෝන් වංශාධිපතියා ගේ මුදල් වලින් මේ ස්ථානයේ පළවෙනි දේවස්ථානය ගොඩනැඟුවා.

විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් අද අපට දකින්න ලැබෙන මරියා මජ්ජෝරේ බැසිලිකාව යි (The Papal Basilica of Santa Maria Maggiore) මේ ගොඩනඟපු දේවස්ථානය. මෙම බැසිලිකාව රෝමයේ ප්‍රධාන බැසිලිකා හතරෙන් එකක්.

මරියා මජ්ජෝරේ බැසිලිකාව
https://en.wikipedia.org/wiki/File:SantaMariaMaggiore_front.jpg

මෙම ප්‍රාතිහාර්‍යයාත්මක හිම පතනය සිහි කරමින් සෑම වසරකම අගෝස්තු 5 වන දින උදෑසන දිව්‍ය පූජාව සහ සවස සැඳෑ යැදුම (Vespers) අතරතුර බැසිලිකාව උඩ සිට සුදු මල් පෙති ඉසිණු ලබනවා.

මල් පෙති ඉසීම

බිම වැටී ඇති මල්පෙති



මූලාශ්‍ර:

Sunday, 28 July 2013

මොකක්ද මේ දවස් වල කතා කරන ලෝක තරුණ දිනය?


http://wydcentral.org/wyd-rio-2013-official-logo/


ඕගොල්ලෝ මේ දවස් වල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලින් අහලා ඇති ලෝක තරුණ දිනයක් ගැන. මේ තමා සෑම වසරකම කතෝලික සභාව තරුණ තරුණියන් වෙනුවෙන් පවත්වන දිනය. වසර 2කට හෝ 3කට වතාවක් ජාත්‍යන්තරව පවත්වන මෙම දිනය, අනෙක් වසර වලදී පදවි මට්ටමෙන් ගොබ් ඉරුදින පවත්වනු ලැබේ.

1985 වසරේදී භාග්‍යවන්ත දෙවන ජුවාම් පාවුළු සුදතුම් පියා විසින් ආරම්භ කරන ලද ලෝක තරුණ දිනය මේ වසරේ පවත්වන්නේ 28 වන වතාවටයි. ඒ පැවැත්වෙන්නේ බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවරයි.
මෙම ලෝක තරුණ දිනයේ නාම සාන්තුවරු ලෙස කතෝලික සභාව නම් කර තිබෙන්නේ කල්කටාවේ භාග්‍යවන්ත තෙරේසා මවුතුමියව සහ භාග්‍යවන්ත දෙවන ජුවාම් පාවුළු සුදතුම් පියාවයි.

භාග්‍යවන්ත දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් මෙම ලෝක තරුණ දිනයට සංඛේත දෙකක් ලබා දී තිබෙනවා. ඒවා නම් 1984 වසරේ ලබා දුන් මීටර් 3.8 ක් පමණ උස ලී කුරුසිය සහ 2003 වසරේ ලබා දුන් මරිය තුමිය ගේ පින්තූරයක්. සෑම ජාත්‍යන්තර මට්ටමේ ලෝක තරුණ දිනයකම මෙම සංඛේත දෙක දැකගන්න පුළුවන්.
http://www.catholic.net/index.php?option=dedestaca&id=9661

මෙය ලෝක තරුණ දිනය ලෙස හැඳින්වූවත්, ජාත්‍යන්තර මට්ටමෙන් සතියක් පුරා පවත්වනවා. ආගමීක වතාවන්, දහම් දැනුම, ගීතිකා ගායනයන් වලින් මෙම දින කිහිපය සමන්විත වෙනවා. පාප්තුමා ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර උත්සවය අවසන් වෙන්නේ ඉරුදින පැවැත්වෙන දේව මෙහෙයත් සමඟයි. ඊළඟ ජාත්‍යන්තර මට්ටමේ ලෝක තරුණ දිනය පැවැත්වෙන නඟරය ප්‍රකාශයට පත්කරන්නේ මෙම දේව මෙහෙය අවසානයේ පාප්තුමා විසිනි.

ලෝක තරුණ දිනයේ ශ්‍රී ලංකා ධජය


ජාත්‍යන්තරව පවත්වා ඇති ලෝක තරුණ දිනයන් මෙසේයි.

1985 වතිකානුව
1987 බුඑනොස් අයිරෙස්, ආර්ජන්ටිනාව
1989 සන්තියාගෝ දෙ කොම්පෝස්තෙලා, ස්පාඤ්ඤය
1991 චෙස්තොකෝවා, පෝලන්තය
1993 ඩෙන්වර්, ඇමරිකාව
1995 මැනිලා, පිලිපීනය
1997 පැරීසිය, ප්‍රංශය
2000 වතිකානුව
2002 ටොරෙන්ටෝ, කැනඩාව
2005 කොලෝන්, ජර්මනිය
2008 සිඩ්නි, ඔස්ට්‍රේලියාව
2011 මැඩ්‍රීඩ්, ස්පාඤ්ඤය
2013 රියෝ ද ජනෙයිරෝ, බ්‍රසීලය

මෙයින් වැඩිම සහභාගිත්වය වාර්තා වී තිබෙන්නේ පිලිපීනයේ 1995 දී පැවති ලෝක තරුණ දිනයේදීයි. එය 5,000,000 ක් ලෙස සටහන් වෙනවා.
පිලිපීනයේ පැවති ලෝක තරුණ දිනය
http://www.telegraph.co.uk/news/picturegalleries/worldnews/8474137/Pope-John-Paul-II-in-pictures.html?image=21


මෙම ලිපිය ලියන්න බොහෝ ඉවහල් වුනේ අද දිනයෙන් (ජූලි 28) අවසන් වන 2013 වසරේ ලෝක තරුණ දිනයයි. ඔබටත් මෙම අවස්ථාව සජීවීව මෙම ස්ථානයෙන් සහ මෙම YouTube ගිණුම හරහා නැරඹිය හැකියි. මෙම YouTube ගිණුමේ, 2013 වසරේ ලෝක තරුණ දිනයේ සියළු අවස්ථාවන් හී වීඩියෝ දර්ශණ නැරඹීමේ හැකියාව ද පවතිනවා.

මූලාශ්‍ර:

  • http://en.wikipedia.org/wiki/World_Youth_Day
  • http://www.vatican.va/gmg/documents/gmg_chronicle-wyd_20020325_en.html
  • http://www.rio2013.com/en/world-youth-day/wyd-symbols


ප.ලි.: අවසාන දේව මෙහෙය අද දින (ජූලි 28 ඉරිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 6.15 ට ආරම්භ වේ.

Monday, 27 May 2013

හතලිස්දෙදාහේ ඡායාරූප ශිල්පියා



අද කතා කරන්න යන්නේ කතෝලික පියතුමෙක් ගැනයි. හැබැයි ටිකක් විතර වෙනස් කතාවක්. මේ ලිපිය ලියන්න කටයුතු සැළසුණෙත් හරි අහම්බෙන්.

දවසක් කුරුන්දේ පරණ ලිපි කියවගෙන යන ගමන් මේ ලිපියට ගොඩවුණා. ඒ ලිපිය කියවද්දී මෙන්න මෙතනට යන්න පාරක් දීලා තිබ්බා. ඉතින් ඒ පාර දිගේ යද්දී තිබ්බේ කුරුන්දේ සෙන්නා ට, විදෙස් සිත්තරා ගහපු පොඩි මඩ පාරක් තියන (තව අතකින් ප්‍රචාරයක් දීපූ) කාටුන් එකක්. ඉතින් ඒ කාටුන් එකට පාදක වෙච්ච සබැඳියත් අතන දාලා තිබ්බා. ඒ සබැඳිය හරහා ආයේ ආවා කුරුන්දට. මොනවා ගැනද දන්නවද කුරුන්දේ ලියලා තිබ්බේ? ඒකෙ තිබ්බේ අර 1900 බර ගණන් වල අයිස් පරයක හැප්පිලා ගිලුණ ටයිටැනික් නැව ගැන. ඔව් ඔව් ඒ අර ජැක්, රෝස් දෙන්නා හිටියේ; හැබැයි මේකේ තිබ්බේ ඒ දෙන්නා ගැන නෙමේ, නැවේ ඉතිහාස කතාවයි. 1912 අප්‍රේල් 15 මේ ප්‍රසිද්ධ නැව, ඒ අප්‍රසිද්ධ අයිස් පරයේ හැප්පිලා ගිලෙද්දී මුහුදු පතුලට අරගෙන ගියේ ඒකේ ගමන් කරපු මඟීන් විතරක් නෙමේ, ඒ මඟීන් නැව තුළ ගත කරපු ජීවිත රටාවත් එක්කයි. හැබැයි ඔය නැවේ ගමන් කරපු එක මඟියෙක් හින්දා, එදා ඒ මඟීන් ගත කරපු ජීවිත රටාව අද වුනත් අපිට දැකගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ මඟියා තමා ජේසු නිකායික ෆ්‍රැන්සිස් බ්‍රවුන් (Francis Browne) පියතුමා යි. අද කවුළු පියන්පතෙන් එහා ඔබට දකින්න ලැබෙන්නේ මේ පියතුමා ගේ කතාවයි.

1880 ජනවාරි 3 වන දින අයර්ලන්තේ කෝක් (Cork) නඟරයේ උපත ලද ෆ්‍රැන්සිස්, ජේම්ස් (James) සහ බ්‍රිජිඩ් (Brigid) යුවලට දාව උපන් දරුවන් 8 දෙනා ගෙන් බාලයායි. 1989 සැප්තැම්බර් 2 වන දින තම පියා ගේ මරණින් පසු කුඩා ෆ්‍රැන්සිස් ව හදා වඩා ගන්නේ ඔහුගේ බාප්පා වන රදගුරු රොබට් බ්‍රවුන් (Robert Browne, Bishop of Cloyne). ඔහුට තම පළමු කැමරාව ලබා දෙන්නේ ද මේ බාප්පායි. 

සාන්ත වින්සන්ට් කාසල්නොක් පාසලෙන් (St. Vincent's Castleknock College) උපාධි ලබන ෆ්‍රැන්සිස් යුරෝපයේ සංචාරයක නියැලෙනවා. ඔහුගේ බාප්පා කැමරාව ලබාදෙන්නේ මේ සංචාරයට පෙරාතුවයි. මෙම යුරෝපා සංචාරය තමාගේ 42,000 ක් පමණ වන ඡායාරූප එකතුවේ මූලාරම්භය බවට ෆ්‍රැන්සිස් පත්කර ගන්නවා.

නැවත අයර්ලන්තෙට පැමිණෙන ඔහු ජේසු නිකායට බැඳී පූජක පුහුණුව ලබනවා. මේ අතර 1912 අප්‍රේල් මාසයේ දී ඔහුගේ බාප්පාගෙන් විශේෂ තෑග්ගක් ලැබෙනවා, ඒ RMS Titanic නෞකාවේ මංගල ගමනට (එංගලන්තේ සදම්ටන් වරායේ සිට අයර්ලන්තේ ක්වීන්ස්ටවුන් දක්වා) සහභාගි වීමට ප්‍රථම පන්තියේ ප්‍රවේශ පත්‍රයක්.

1912 අප්‍රේල් 10 වන දින පස්වරුවේ නැවට ගොඩවෙන ෆ්‍රැන්සිස් ට ලැබෙන්නේ Promenade Deck හෙවත් සක්මන් තට්ටුවේ A37 කාමරයයි. නැවට ගොඩවූ වෙලේ පටන් ෆ්‍රැන්සිස් තමාගේ රාජකාරිය, එනම් ඡායාරූප ගැනීම පටන් ගත්තා. ඡායාරූපකරණය ඔහුගේ විනෝදාංශය වගේම ජීවිතයේ කොටසක් වෙලයි තිබ්බේ. 
ඔහුගේ තෙවෙනි ඇසට අසුවූ ප්‍රදේශ අතර ව්‍යායාම ශාලාව, මාර්කෝනි කාමරය, ප්‍රථම පංතියේ භෝජන ශාලාව, ඔහුගේ කාමරය සහ නැවේ සක්මන් තට්ටු වැනි ප්‍රදේශ වුණා. අවසාන වශයෙන් කැමරාවක සටහන් වුණ පුද්ගලයන් අතර කපිතාන් ස්මිත් (Captain Edward J. Smith), ව්‍යායාම් උපදේශක මැක්කොවුලි (T. W. McCawley), විදුලි ඉංජිනේරු විලියම් පාර් (William Paar), මේජර් බට් (Major Archibaald Butt) වැනි පුද්ගලයන් ද, නාමිකව නොදන්නා තෙවැනි පංතියේ මඟීන් කිහිප දෙනෙක් ද ඇතුලත්. 
සදම්ටන් වරාය බලා යාමට දුම්රිය ස්ථානයේ


දුම්රිය ගමන

සදම්ටන් වරායේ ආසන්න අනතුර 

සදම්ටන් වරායේ අනතුර වළක්වන කුඩා යාත්‍රා

සදම්ටන් වරායේ අනතුර - New York නැව Titanic වෙතින් අහකට තල්ලු කරමින්

සදම්ටන් වරායට රොක්වූ පිරිස්
ඔහුගේ කාමරය
ව්‍යායාම් ශාලාව - සිටින්නේ ව්‍යායාම් උපදේශක මැක්කොවුලි (T. W. McCawley), විදුලි ඉංජිනේරු විලියම් පාර් (William Paar)
කියවීම් ශාලාව
මාර්කෝනි කාමරය
ඈතින් සිටින්නේ මේජර් බට් (Major Archibaald Butt)

ප්‍රථම පංතියේ කෑම ශාලාව
ඔහුට ලැබුන නැවේ සැලැස්ම
නැවට තැපැල් මලු පටවමින්
නැවේ බඳේ සවිකර තිබූ ඝන යකඩ තහඩු

දිනක් ෆ්‍රැන්සිස් සමඟ එක මේසයේ ආහාර ගනිමින් සිටි පොහොසත් ඇමරිකානු යුවලක්, ඔහු සමඟ මිත්‍ර වී ඇමරිකාව දක්වාම යාමට සියළු වියදම් දැරීමට එකඟ වී තිබෙනවා. ෆ්‍රැන්සිස් මේ සඳහා අවසර පතා තම ප්‍රාදේශාධිපති පියතුමාට ටෙලෙග්‍රාෆ් පණිවිඩයක් යවනවා. හැරෙන තැපෑලෙන් ඔහුට ලැබෙන පිළිතුර වන්නේ "GET OFF THAT SHIP - PROVINCIAL" (නැවෙන් බහින්න - ප්‍රාදේශාධිපති). මෙම අවසරය ප්‍රතික්ෂේප කිරීම ඔහුගේ ජීවිතය ආරක්ෂා වීම පමණක් නොව, ටයිටැනික් නැව තුළ මඟීන් ගතකළ ජීවිතය ගැන වැටහීමක් ලබාගැනීමේ අවස්ථාව ද ආරක්ෂා වුණා. 

අප්‍රේල් 11 වන දින අයර්ලන්තේ ක්වින්ස්ටවුන් වරායේ දී නැවෙන් බැසයන ෆ්‍රැන්සිස් තමාගේ දේවධර්ම අධ්‍යයන කටයුතු  සඳහා ඩබ්ලින් බලා පිටත් වෙනවා. ටයිටැනික් නැවේ අවසාන ඡායාරූපය ගනු ලබන්නේ මෙසේ ඔහු ටයිටැනික් නැවේ සිට America නමැති කුඩා යාත්‍රාවෙන් ක්වින්ස්ටවුන් වරායට පිටත් වන විටයි. නැවේ මුහුදුබත් වීම ආරංචි වීමත් සමඟ තමාගේ ඡායාරූප බොහෝ ප්‍රයෝජනවත් විය හැකි බව ඔහුට වැටහෙනවා. මෙසේ ඔහුගේ ඡායාරූප පුවත්පත්, සඟරා වල පළවෙන අතර ප්‍රතිච්ඡායා (negatives) සියල්ලම තමා ලඟ තබා ගන්නවා.

ක්වින්ස්ටන් වරායෙන් ඔහුත් සමඟ නැවෙන් බැස ගිය පිරිස
නැවේ අවසන් ඡායාරූපය
1915 ජූලි 31 දින පූජක වරම් ලබන ෆ්‍රැන්සිස්ව අයර්ලන්ත හමුදාවේ උපාධ්‍ය පියතුමා හැටියට යුරෝපයට යවනවා. 1920 දක්වා මෙසේ ඉන්න ෆ්‍රැන්සිස් පියතුමා පස් වතාවකදී යුද්ධය අතරතුර තුවාල ලබනවා. මෙයින් එක් අවස්ථාවක බරපතල විදිහට තුවාල ලබන්නේ ගෑස් ප්‍රහාරයකට අසුවීමෙනුයි. මෙසේ ඉන්න අතරතුර ද ඔහු තමාගේ විනෝදාංශය අතහැරියේ නෑ. ඔහුගේ කැමරා කාචයට හසුවුණ යුධ ඡායාරූප ප්‍රමාණය ද අති විශාලයි. 

යුද්ධයෙන් පසු නැවතත් අයර්ලන්තයට පැමිණි ෆ්‍රැන්සිස් පියතුමාව ඩබ්ලින් (Dublin) නුවර ගඩිනර් වීදිය දේවස්ථානයේ (Gardiner Street Church) ප්‍රධානියා ලෙස 1922 දී පත් කරනවා. 1924 දී ඔහුව ඔස්ට්‍රේලියාවට යවන අතර, ඒ යන අතරතුර නාවික ගමනේ ද,  ඔස්ට්‍රේලියාවේ ද ඡායාරූප ඔහුගේ ඡායාරූප ගොන්නට එක්වෙනවා. නැවත අයර්ලන්තය බලා එන  අතරතුර ඔහු ලංකාව (Ceylon), ආදන් (Aden), සුඑස් (Suez), සලෝනිකි (Saloniki), නාපෝලි (Naples), ටූලෝන් (Toulon), ගිබ්‍රල්තාර් (Gibraltar), අල්ජෙසිරාස් (Algeciras) සහ ලිස්බන් (Lisbon) දැක බලාගන්නා අතර, ඒ ඒ ප්‍රදේශ වල ජන ජීවිතය, නාවික තොටේ ක්‍රියාකාරකම් ඔහුගේ කැමරාවේ සටහන් වෙනවා. සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු ඡායාරූප 42,000 කට වඩා ලබාගෙන ඇති බවයි. 

1960 වසරේ ඩබ්ලින් නුවර දී මිය යන ෆ්‍රැන්සිස් පියතුමා ගේ සිරුර ග්ලස්නෙවින් සුසාන භූමියේ (Glasnevin Cemetery) භූමදාන කරනවා. ඔහුගේ මරණින් වසර 25 ක් යනතුරු ඔහුගේ ප්‍රතිච්ඡායා (negatives) එකතුව සියළු දෙනාගෙන්ම වසන්ව පවතිනවා. නමුත් 1986 වසරේ දී මේ සියල්ල අහම්බෙන් එඩ්වර්ඩ් පියතුමාට (Fr. Edward E. O'Donnell, SJ) හමුවීමත් සමඟ මේ ඡායාරූප එකතුව නැවතත් සමාජයට දැකගන්න ලැබෙනවා.
ජේසු නිකායේ අයර්ලන්ත ප්‍රාදේශිකය මේ ඡායාරූප ප්‍රතිච්ඡායා එකතුව සංරක්ෂණය කරන්නට පියවර ගන්නවා. එලෙස ඔවුන් මේ කාර්‍ය්ය ඡායාරූප සංරක්ෂණ විශේෂඥයින් වන ඩේවිඩ් සහ එඩ්වින් දෙපළට (David and Edwin Davison) භාර දෙනවා. ඔවුන් සෑම ප්‍රතිච්ඡායාවක්ම පිඅපත් කර, සංඛ්‍යාංක පිටපත් ද (digital copies) මතු පරම්පරා වලට ප්‍රයෝජනයට ගැනීමට ලබා ගන්නවා.

ටයිටැනික් නැවේ 100 වැනි සංවත්සරයට අයර්ලන්තයේ තැපැල් දෙපාර්තමේන්තුව 2012 අප්‍රේල් මාසයේ දී ෆ්‍රැන්සිස් පියතුමා ගේ රුව රැගත් මුද්දරයක් නිකුත් කරනවා.

ප.ලි.: මෙයට අමතරව වැඩිපුර ඡායාරූප බැලීමට මෙතනින් යන්න. සියළුම ඡායාරූප ගනු ලැබුවේ http://www.fatherbrowne.com/ ලිපිනයෙන් වන අතර, ඒවා උපයෝගි කොටගෙන ඇත්තේ අධ්‍යාපණික කටයුත්තකට පමණක් බවද සළකන්න.

විභාග කටයුතු නිසා මාසයක් බ්ලොග් ලෝකයෙන් ඈත්වී සිටීමට සිදුවන බව ද කරුණාවෙන් සළකන්න.

මූලාශ්‍ර: